න්‍යෂ්ටික හා මිසයිල අත්හදා බැලීම් වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස ආසියාවේ බලවතා මෙන්ම, ලෝකයේ බලවතා වෙමින් සිටින චීනය විසින් උතුරු කොරියාවට බල කර සිටියි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් උතුරු කොරියාව වෙත නවතම සම්බාධක පැනවීමෙන් පැය කිහිපයකට පසුව චීනයේ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් උතුරු කොරියානු විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත මෙම දැනුම්දීම නිල වශයෙන් සිදුකර ඇත.
චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී විසින්, උතුරු කොරියානු විදේශ කටයුතු අමාත්‍ය රී යොන්ග්-හෝ වෙත මෙය දන්වා ඇත්තේ පිලිපීනයේ පැවති හමුවකදීය. කෙසේ වෙතත් ඒ සඳහා උතුරු කොරියානු අමාත්‍යවරයා ලබාදුන් පිළිතුර වැන්ග් යී හෙළි කර නොතිබුණි.
එක්සත් ජාතීන් පැනවූ නවතම සම්බාධකවලදී උතුරු කොරියාවෙන් සිදුකෙරෙන අපනයන තහනම් කිරීම සහ එරට තුළ ආයෝජන කටයුතු සීමා කිරීම සඳහා ඒකච්ඡන්දයෙන් යෝජනාවක් සම්මත වී ඇති අතර, එය මෑත ඉතිහාසයේ ඕනෑම රාජ්‍යයක් වෙනුවෙන් පනවනු ලැබූ ප්‍රබල සම්බාධක තත්ත්වයක් බවද කියැවෙයි.
මෙහිදී, චීන විදේශ කටයුතු අමාත්‍යවරයා කියා තිබුණේ සම්බාධක පැනවීම අවශ්‍ය වුවත්, එය මෙම අර්බුදයට අවසන් විසඳුම නොවන බවයි. ඒ නිසා, හැකි ඉක්මණින් මේ සඳහා සාකච්ඡාමය විසඳුමක් අවශ්‍ය බවද වැන්ග් යී අවධාරණය කරයි.
උතුරු කොරියාව විසින් පසුගිය ජූලි මාසයේදී අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බැලූ අතර, ඔවුන් පවසා සිටියේ මේ වනවිට තමන් ඇමෙරිකාව වෙතද පහරදීමට තරම් යුද ශක්තියකින් පසුවන බවයි.