මිත්‍ර සංග්‍රහයක් නිසා විවාදයට ලක්වූ දකුණු කොරියානු ජනපතිනී පාර්ක් ග්වෙන්-හයි එම ධුරයෙන් ඉවත්කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබේ.
මෙම නඩුව එරට ශ්‍රේෂ්ඨාධිකරණයේදී විනිසුරුවන් 8 දෙනෙකු ඉදිරියේදී සලකා බැලුණු අතර, එහිදී, බලයේ සිටි කාලය තුළ ඇය රටේ ව්‍යවස්ථාව මෙන්ම නීතිය දැඩි ලෙස උල්ලංඝනය කර ඇති බව එම විනිසුරුවන් ඒකමතිකව තීරණය කරමින් ජනපතිනිය දෝෂාභියෝගයට ලක්කිරීම සඳහා පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීම අනුමත කර තිබේ.
දකුණු කොරියානු ජනාධිපතිනිය තමාගේ මිතුරියක මෙන්ම සහායිකාව වූ චොයි සුන්-සිල් වෙත සිදුකළ මිත්‍ර සංග්‍රහයක් මේ ආකාරයෙන් ඇයට ජනාධිපති ධුරය අහිමි වීමට හේතු වී තිබුණි.
විශේෂයෙන්ම දේශපාලනික සහාය පළ කිරීම්වලට හිලව් වශයෙන් එරට සමාගම්වලින් කප්පම් ලබාගැනීම සඳහා මෙම හිතවතියට සහාය දැක්වීමට ජනපතිනියට කටයුතු කර තිබුණු අතර, මේ සම්බන්ධයෙන් ඇයට අපරාධ පරීක්ෂණයකටද මුහුණ දීමට සිදුවනු ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, අධිකරණය විසින් බලයෙන් පහ කළ ජනපතිනිය තීන්දුව ප්‍රකාශ වූ දිනම නිල නිවසින් ඉවත්ව නොතිබූ අතර, ඇය මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු නොකරනු ඇති බවද ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණි. මේ තත්ත්වය තුළ ඉදිරි දින 60ක කාලය තුළ දකුණු කොරියාවේ නව ජනාධිපතිවරයෙකු තෝරාගැනීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.