(UPDATE) මාලි රාජ්‍යයේ, බමාකෝ අගනුවර තරු හෝටලයකට කඩා වැදුණු ඉස්ලාම් අන්තවාදීන් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම් එරට වේලාවෙන් සවස 4.00 වනවිට අවසන් වූ අතර, සිද්ධියෙන් පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 7 දෙනෙකු තුවාල ලබා තිබේ..
ප්‍රංශයේ පැරිස් නගරයට අයි.එස්.ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් ප්‍රහාරයක් එල්ල කොට සතියක් ගතවන තැන මෙම ප්‍රහාරය එල්ල වෙයි.
අතීතයේ ප්‍රංශ කොලනියක්ව පැවති මාලි රාජ්‍යයේ, අගනුවර රැඩිසන් බ්ලූ තරු හෝටලයට එරට වේලාවෙන් උදෑසන 7.00 ට පමණ කඩා වැදුණු ඉස්ලාම් අන්තවාදීන් පිරිසක් එහි සිටි 170 දෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන තිබුණි.
කෙසේ වෙතත්, මාලි විශේෂ කාර්ය බලකා සෙබලු වහා ක්‍රියාත්මක වෙමින් ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම්වල නිරතවී ඇති අතර ඇමෙරිකානු හා ප්‍රංශ විශේෂ බලකායද ඊට සහාය වී ඇති බව විදෙස් වාර්තා පවසයි. ඒ අනුව මේ වනවිට සියලු ප්‍රාණ ඇපකරුවන් මුදාගෙන ඇති අතර ඔවුන්ගෙන් වැඩි පිරිස විදේශිකයන් බවද කියැවෙයි.
මුලින්ම ප්‍රාණ ඇපකරුවන් 80ක් පමණ නිදහස ලබා ඇති අතර, ඔවුන් වැඩි දෙනා නිදහස ලබා ඇත්තේ කුරානයේ වාක්‍යයක් පැවසීමෙන් හෝ තම උත්සාහයෙන්ම ත්රස්තයන්ගෙන් මිදී පළා ඒමෙනි.
අතීතයේ ප්‍රංශ කොලනියක්ව පැවති මාලි රාජ්‍ය කලක් අල්කයිඩා ත්රස්තයන්ට සම්බන්ධ ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක් සමග සටන් වැදුණු රාජ්‍යයකි.
අල්ලාහ් දෙවියන් ශ්‍රේෂ්ඨයි කියමින් ත්රස්තයන් හෝටලයට කඩා වැදුණු බවත්, ඔවුන් එහි සෑම කාමරයක් කරා ගොස් සියලු පිරිස් ප්‍රාණ ඇපයට ගත් බවත් ඉන් මිදී පැමිණි අය කියයි.
මේ අතර, එයාර් ෆ්රාන්ස් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකුද මෙම ප්‍රහාරය සිදුවන අවස්ථාවේ හෝටලයේ සිටියත්, ඔවුන් ආරක්ෂිතව පිටවී තිබේ.
එමෙන්ම, තුර්කි ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයේ හය දෙනෙකුගෙන් තිදෙනෙකුද බේරී පැමිණ ඇති බව එරට බළධාරීහු කියති.
මාලි ජනාධිපති ඊබ්‍රාහිම් බෞබකාර් චාද් රාජ්‍යයේ පැවැත්වීමට තිබූ කලාපීය සමුළුවක්ද අවලංගු කරමින් සිය කාර්යාලය වෙත පැමිණ ඇති අතර, ප්‍රංශ ජනපති ප්රංශුවා හොලන්දේ ද ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමට හැකි සෑම ප්රයත්නයක්ම දරණ බව සිද්ධිය වූ අවස්ථාවේදී කීය. එමෙන්ම රට තුල දින 10ක හදිසි තත්ත්වයක් හා දින තුනක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත්කොට ඇත.
මෙම ප්‍රාණ ඇපකාර සිද්ධියේ වගකීම අල්කයිඩා සංවිධානයට සම්බන්ධ ඉස්ලාම් අන්තවාදී ජිහාඩ් ත්‍රස්ත කණ්ඩායමක් වන අල් මොරාබිටෝන් සහ ඉස්ලාම් මග්හර්බ් හි අල් කයිඩා සංවිධානය බාරගෙන ඇති බවද විදෙස් වාර්තා කියයි. අල් මොරාබිටෝන් ජිහාඩ් සංවිධානයේ නායක මොක්තාර් බෙල්මොක්තාර් ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වී මසකින් මෙම ප්‍රහාරය දියත් වී තිබුනි.