ඉන්දියාවේ, මුම්බායි නුවර ඉස්ලාමීය ආධ්‍යාත්මික නායකයෙකුගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වූ දහස් ගණනක සෙනඟක් එකට තෙරපීමෙන් පුද්ගලයන් 18 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව, තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි ඉන්දියාවෙන් වාර්තා වෙයි.
දවූඩි බෝර නමින් හැඳින්වෙන මුස්ලිම් ප්‍රජාවගේ ආධ්‍යාත්මික නායකයා වූ සෛද්නා මොහොම්මද් බුර්හනුද්දින් අවුරුදු 102ක් ආයු වළඳා පෙරේදා (17දා) ජීවිතක්ෂයට පත්වූ අතර, ඊයේ (18දා) පැවති එම අවමංගල්‍ය උත්සවයේදී මේ අභාග්‍යසම්පන්න ඛේදවාචකය සිදුවූ බව පැවසෙයි.
සිද්ධිය ඇසින් දුටුවන් පවසන ආකාරයට ආධ්‍යාත්මික නායකයාගේ දේහය තැන්පත් කර තිබූ නිවසේ ගේට්ටුව දෙසට විශාල සෙනඟක් එකිනෙකාට තෙරපී දැඩි කලබලකාරී තත්ත්වයක් ඇතිවීමත් සමග වැඩි දෙනෙකු මරණයට පත්ව තිබේ.මුම්බායි පොල්සි කොමසාරිස්වරයා පවසා සිටින්නේ මෙතරම් විශාල සෙනඟක් ඔවුන් බලාපොරොත්තු නොවූ නිසා ජනයා පාලනය කරගැනීම අතිශය අසීරු කාරණයක් වූ බවයි.
මෙම ආධ්‍යාත්මික නායකයා අයත් වූ බෝර මුස්ලිම් ප්‍රජාව සෞභාග්‍යමත් හා පරාර්ථකාමී ජන කොට්ඨසයක් ලෙස සැලකෙයි.කෙසේ වෙතත් ඉන්දියාව තුළ අධික සෙනඟක් එකට තෙරපී ජීවිත අහිමි වූ ප්‍රථම අවස්ථාව මෙය නොවන බවද පැවසිය යුතුයි. පසුගිය ඔක්තෝබර් මසයේදී මධ්‍ය ප්‍රදේශ්හි හින්දුකෝවිලක සිදුවූ තෙරපීමකින් ජීවිත 115ක් අහිමි විය.
බීබීසී/ඩේලිමේල් ඇසුරෙනි