වසර දෙකක් පුරා නව යොවුන් වියේ දැරියක ලිංගික වහල් සේවයේ යෙදවූ බවට ඇගේ මව හා සුළු පියා අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දියාවේ, කේරල ප්රාන්තයෙන් වාර්තා වෙයි.
13 හැවිරිදි වියේ පසුවූ එම දැරිය ඉන් මුදවා ගැනීමෙන් පසුව පරිවාස නිවාසයක් වෙත යොමු කොට තිබේ.
ඇය එහිදී පරිවාස නිලධාරිනියන් සමග පවසා ඇත්තේ තම දෙමව්පියන් ගැනුම්කරුවන් නිවසට ගෙන්වා ඔවුන් සමග ලිංගිකව හැසිරෙන ලෙස තමන්ට බල කරන බවයි.
මෙහිදී, අත්අඩංගුවට පත් ඇගේ මව පවසා ඇත්තේ ඉන්දීය රු.3,000කට තමන් දියණිය ඒක ගැනුම්කරුවෙකුට ලබාදෙන බවයි.
ඒ අනුව, මෙම ළාබාල දැරිය සමග ලිංගිකව හැසිරුණු ගැනුම්කරුවන් 40ක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇති බවද පොලීසිය පවසයි.
එමෙන්ම, මීට සම්බන්ධ වූ තැරැව්කරුවන් කිහිප දෙනෙකු පිළිබඳවද පොලීසිය තොරතුරු ලැබී ඇති බව කියැවෙයි.
37 හැවිරිදි මෙම කාන්තාව දරුවන් හත් දෙනෙකුගේ මවක් බවත්, ඇගේ වැඩිමහලු දියණියගේ වයස අවුරුදු 24ක් බවත් පොලීසිය කියයි.
55 හැවිරිදි වියේ පසුවන ඇගේ සුළු පියා බස් රථ රියදුරෙකු ලෙස කටයුතු කරන අතර, ඔහු මෙම දැරියගේ ඡායාරූපයක් පෙන්වමින් ගැනුම්කරුවන් ගෙදරට ගෙන්වා ගෙන ඇති බවද පොලීසිය කියයි.
මේ වනවිටත් මීට සම්බන්ධ පුද්ගලයන් 22 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
ඉන්දියාවේ කාන්තා දූෂණය පිළිබඳව පසුගිය කාලයේදී නිරන්තර සිද්ධීන් වාර්තා වූ අතර, එරට තුළ මීට එරෙහි ජනතා නැගිටීමක්ද දක්නට ලැබුණි.