අවමංගල්‍යය උත්සවයකට පැමිණ, නිවැසියන්ගේ අවධානය ගිලිහී ගිය මොහොතක, මිනී පෙට්ටිය තුළ හොවා තිබූ මියගිය තැනැත්තියගේ අත වූ මුදුවක් සොරාගත් කාන්තාවක් පිළිබඳ ඇමෙරිකාවෙන් වාර්තා වෙයි.
ඇමෙරිකාවේ, ටෙක්සාස් ප්‍රාන්තයේ, ඔඩෙස්සා හි අවමංගල්‍ය උත්සවයේ පැවති නිවසේ තිබූ ආරක්ෂිත කැමරාවල මෙම සොරකම පටිගතවී ඇති අතර, මියගොස් සිටි 88 වියැති කාන්තාවගේ මළ සිරුර විවෘත මිනී පෙට්ටියක හොවා තිබූ බව කියයි.
ඔඩෙස්සා පොලීසිය සිය ෆේස්බුක් පිටුවේ මෙම වීඩියෝව ප්‍රසිද්ධියට පත්කර ඇති අතර, කිසිවෙකු නොමැති අවස්ථාවක විනාඩියක පමණ කාලයක් එම මළ සිරුර අසල රැඳී සිටින කාන්තාව එක්වරම එම මළ සිරුරේ ඇඟිල්ලක් අඹරමින්, මුදුව ගලවා ගන්නා ආකාරයත් දැකිය හැකිය.
පොලීසිය පවසන්නේ මෙම සොරකමින් පසුව ඇය මෝටර් රථයකින් පළාගොස් ඇති බවය.
මේ අතර, මෙම මරණකාරියගේ දියණියක පවසා තිබුණේ, මෙම සොරකම කිරීමට පැමිණි තැනැත්තිය ඔවුන්ගේ ඥාතියෙකු හෝ හිතවතෙකු නොවන බවය.
කෙසේ වෙතත්, මෙම සොරකම කිරීමට පැමිණි තැනැත්තිය පසුව අත්අඩංගුවට පත්ව තිබුණි.