මක්කම වන්දනාවේදී කාන්තාවන්ට විඳීමට සිදුවන ලිංගික හිංසනයන් සම්බන්ධයෙන් සමාජජාල තුළ කතාබහක් ඇරඹී ඇති බව බී.බී.සී.ය වාර්තා කරයි.
ලොව පුරා කාන්තාවන්ට හජ් වන්දනාවේදී විඳීමට සිදුවන මෙවැනි හිංසනයන් පිළිබඳ සමාජජාල තුළ කතාබහ ඇරඹී ඇත්තේ පසුගිය පෙබරවාරි 02 වැනිදා ෆේස්බුක් තුළින් පාකිස්තාන කාන්තාවක තමා විඳි අභාග්‍යසම්පන්න අත්දැකීමක් විවෘතව කතා කිරීමත් සමගිනි.
බී.බී.සී.ය සමග මෙවැනි සිදුවීමක් ගැන කතා කරන ඇය නමින් අන්ගි අන්ගුයිනිය. වර්ෂ 2010 දී තමන් විඳි ඒ සිද්ධිය අන්ගි මෙසේ විස්තර කරයි.
"සමාවෙන්න මෙහෙම කියන්න වුණාට. ඔහු මගේ තට්ටම් ප්‍රදේශයෙන් අල්ලන්න පටන් ගත්තා. පසුව ඔහු තදින් මගේ ඇඟ මිරිකන්නට වුණා."
මක්කම ශුද්ධ වූ පල්ලියට පිටත පිහිටි වෙළෙඳ සංකීර්ණයක් තුළදී තමන් මෙම අප්‍රසන්න අත්දැකීමට මුහුණදුන් බව ඇය කියයි.
"ඒ සිදුවීමෙන් මම තැති ගත්තා. මේ මොකද වෙන්නෙ කියා මා බැලුවා. මා සිටියේ මගේ මවට මීටර් දෙකකටත් වඩා නුදුරින්. ඇත්තටම ඒ වෙලාවෙ කෑ ගහන්න මගේ හිතට හයියක් ආවෙ නෑ. මම භය වුණා."
තමන් මුහුණදුන් මේ සිදුවීමටත් වඩා තම නැගෙණිය මුහුණදුන් සිදුවීමේ බරපතළ බව ඇය විස්තර කරයි.
ඇගේ සහෝදරිය ලිංගික හිංසනයකට ලක්ව තිබුණේ පල්ලිය තුළ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරියෙකු අතිනි.
මේ අවස්ථාවේදී තමන් ඒ ආරක්ෂක නිලධාරියාට කෑ ගැසූ බව ඇය කියයි.
"මොනවද මිනිහෝ ඔය කරන්නෙ? උඹට මගේ නංගිව අල්ලන්න අයිතියක් නෑ."
"මම දන්නවා ඔබත් මුස්ලිම්. ඔබට මෙවැනි හිංසනයක් කරන්න අයිතියක් නොමැති බව ඔබ හොඳාකාරවම දන්නවා."
"මෙවැනි ශුද්ධ වූ ස්ථානයක ඔබ මේ වගේ හැසිරෙන්නෙ ඇයි?"
ඇය පෙන්වා දෙන්නේ මේ ආරක්ෂක නිලධාරීන්ගේ රාජකාරිය ජනතාවට ආරක්ෂාව සැපයීම බවයි. විශේෂයෙන්ම ඔහු පල්ලිය තුළම ආරක්ෂාව සැපයූ අයෙකු බවද ඇය සිහිපත් කරයි.
තමන් ඒ ආකාරයෙන් ඒ පුද්ගලයා වෙත කෑමොර දෙනවිට ඔහු සමච්චලයට සිනහ වෙමින් තමන් දෙස බැලූ බව ඇය සිහිපත් කරයි.
අන්ගි බී.බී.සී.ය වෙත පවසා තිබුණේ ඒ ස්ථානය කිසිසේත්ම කාන්තාවන්ට ආරක්ෂිත ස්ථානයක් නොවන බවයි. මේ ගැන කතා කරමින් අනෙක් අයවත් දැනුවත් කරන ලෙසත්, එහිදී වඩාත් ආරක්ෂාකාරී වන ලෙසත් ඇය වැඩිදුරටත් පවසයි.
මේ ආකාරයට ලිංගික හිංසනයන් සම්බන්ධයෙන් කතා කිරීම අරඹා ඇත්තේ අන්ගි පමණක් නොවෙයි. පෙබරවාරි 02දා පාකිස්තාන කාන්තාව ෆේස්බුක් හි කළ අනාවරණයෙන් පසුව ඊජිප්තු-ඇමෙරිකානු සම්භවයක් ඇති මෝනා එල්ටාහ්වි #MosqueMeToo නමින් ට්විටර් සමාජජාලය තුළ මෙවැනි හිංසනයන් පිළිබඳ කතාබහක් අරඹා ඇත.
ඒ අනුව යමින් #MosqueMeToo වෙත සහාය පළ කරන ලොව පුරා කාන්තාවන් තමන් මුහුණදුන් අත්දැකීම් සමාජජාල තුළ මුදාහරිමින් සිටින බව බී.බී.සී.ය කියයි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති ලන්ඩනයේ සෞදි තානාපති කාර්යාලය පවසා තිබුණේ මෙවැනි හිංසනයන් පිළිබඳ ඕනෑම වාර්තාවක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට සෞදි රජය පසුබට නොවන බවයි. මෙවැන්නක් වර්තා වුවහොත් මක්කම පොලීසිය සහ ආරක්ෂක අංශ ඒ පිළිබඳ දැඩි විමර්ෂණයක් සිදුකරන බවද තානාපති කාර්යාලය පවසා තිබේ. එමෙන්ම, වින්ඳිතයන්ට නීතියේ සාධාරණත්වය ලබාදීම සඳහා සියලු පියවර ගන්නා බවත් තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.