'බැන්ඩිට් ක්වීන්' හෙවත් චෞර රැජින ලෙස ප්රකට වූ පුලන් දේවිය මරා දැමූ බවට වරදකරු වූ ශියර් සිං රානාට ඉන්දියාවේ දිල්ලි අධිකරණයකදී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණි.
පුලන් දේවිය 2001 වසරේදී ඇගේ නිවස ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කළ බවට අධිකරණය විසින් ශියර් සිං රානා වරදකරු බවට අධිකරණය තීන්දු කළේ පසුගිය සතියේදීය.
ඉන්දියාවේ පහත් කුලයකට අයත් කාන්තාවක වන පුලන් දේවියගේ ජීවිත කතාව 1996 දී 'බැන්ඩිට් ක්වීන්' නමින් චිත්රපටයකටද ගොනුවිය.
ඉහළ කුලයේ පුද්ගලයන් පිරිසක් අතින් සමූහ දූෂණයට ලක් වූ පුලන් දේවිය ඊට විරුද්ධව නැගී සිටියේ, 1981 වසරේදී තමා දුෂණය කළ 22කු තමා විසින්ම ඝාතනය කරනු ලබමිනි.
කෙසේ වෙතත්, 1983 දී තමන් කළ ඝාතන වෙනුවෙන් පොලිසියට බාර වුණු ඇය වසර දහයක සිරදඬුවම් ලබා 1994 දී නිදහස් විය.
නිදහස් වී වසර දෙකකින් පසු දේශපාලන දිවියට ඇතුළු වූ ඇය ඉන්දියාවේ පහළ මන්ත්රී මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස දිවුරුම් දුන්නාය.
පුලන් දේවියගේ ඝාතනය සම්බන්ධයෙන් 2001 දී ශියර් සිං රානා සැක පිට අත්අඩංගුවට ගත් අතර 2004 වසරේදී දිල්ලි නුවර අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් පැන ගිය ඔහු 2006 වසරේදී නැවත අත්අඩංගුවට ගැනුණි.
ශියර් සිං රානාට ජීවිතාන්තය දක්වා සිර දඬුවමට අමතරව ඉන්දියානු රු.ලක්ෂයක දඩයක්ද නියම කෙරිණි.