ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයට එල්ල කෙරුණු ම්ලේච්ඡ වෑන් රථ ප්‍රහාරයේ ත්‍රස්ත ජාලයට සම්බන්ධ බවට චෝදනා ලැබ අත්අඩංගුවට පත් පුද්ගලයන් සිව් දෙනෙකු මැඩ්රීඩ් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
මොහොමඩ් ආල්ලා, මොහොමඩ් හවුලි චෙම්ලාල්, සහාල් අල්-කරීබ් සහ ඩ්‍රිස් ඖක්බර් මෙසේ අධිකරණයට ඉදිරපත් කළ සැකකරුවෝ වූහ.
පුද්ගලයන් 15 දෙනෙකුට මරු කැඳවමින්, තවත් 100කට තුවාල සිදුකළ මෙම ම්ලේච්ඡ ප්‍රහාරයට සම්බන්ධ මොවුන්ගෙන් මැඩ්රීඩ් විනිසුරුවරයා දැඩි ප්‍රශ්න කිරීමක් සිදුකර තිබූ බව විදෙස් වාර්තා පවසයි.
බාසිලෝනා ප්‍රහාරය එල්ල කළ ත්‍රස්ත ජාලයේ පුද්ගලයන් 08 දෙනෙකු ඝාතනය වූ අතර, ඉන් දෙදෙනෙකු බෝම්බ පුපුරුවා ගනිමින්ද, ඉතිරි 6 දෙනා පොලිස් වෙඩි පහරින්ද ජීවිතක්ෂයට පත්ව තිබුණි..
සිද්ධියේ අවසන් සැකකරු බාසිලෝනා නගරය ආසන්න මිදි වත්තක් ආසන්නයේදී පොලිස් වෙඩි පහරින් මියගිය අතර, ඔහු වෑන් රථය ධාවනය කළ මොරොක්කෝ ජාතික යුනීස් ලෙස තහවුරු කර තිබුණු අතර, පොලීසියට කොටු වූ අවස්ථාවේදී අල්ලාහු අක්බර් යනුවෙන් කෑමෝර දී තිබුණේද මොහුය.
ඒ අනුව, ප්‍රහාරයෙන් නිරුපද්‍රිතව අත්අඩංගුවට ගනු ලැබූ ත්‍රස්ත සැකකරුවන් දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ බාසිලෝනා නුවර සිට මැඩ්රිඩ් දක්වා රැගෙන ගොස් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබූ බව විදෙස් වාර්තා පවසයි.
අධිකරණයට ඉදිරිපත් කළ මොහොමඩ් හවුලි චෙම්ලාල් බාසිලෝනා ප්‍රහාරයට පෙර, නගරයට දකුණුදිගින් වූ ඇල්ක්නාර් හි නිවසක් සම්පූර්ණයෙන්ම පුපුරුවා හැරීමට ක්‍රියාකළ අයෙකි. එම පිපිරීමේදී අබ්ඩෙල්බාකි එස් සාති නැමති මොරොක්කෝ ජාතික ඉස්ලාම් පූජක තැන ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය. එම පූජක තැන මෙම තරුණයන් ජිහාඩ් අන්තවාදයට නතුකළ පුද්ගලයා බව විශ්වාස කෙරෙයි. අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී මොහොමඩ් හවුලි රෝහල් ඇඳුමින්ම පැමිණ තිබුණේ, පිපිරීමෙන් සිදුවූ තුවාලවලට ඔහු තවමත් ප්‍රතිකාර ලබාගන්නා නිසාය.
අත්අඩංගුවට පත් 28 හැවිරිදි ඩ්‍රිස් ඖක්බර් තමන් නිර්දෝෂී බව මුල සිටම කියා සිටියේය. කෙසේ වෙතත්, බාසිලෝනා ප්‍රහාරයට භාවිත කළ වෑන් රථයේ ඔහුගේ ගමන් බලපත්‍රය තිබී හමුවී තිබුණි. එම ගමන් බලපත්‍රය ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු වූ තම සහෝදරයා විසින් සොරකම් කර වෑන් රථය ලබාගැනීමට යොදාගෙන තිබූ බව ඖක්බර් පවසයි.
27 හැවිරිදි මොහොමඩ් ආල්ලා යනු බාසිලෝනා වෑන් රථ ප්‍රහාරයෙන් පසුව, කැම්බ්රිල්ස් හිදී සිදුකළ මෝටර් රථ ප්‍රහාරයට යොදාගත් අවුඩි කාර් රථයේ හිමිකරුය.
එමෙන්ම, 34 හැවිරිදි සහාල් අල්-කරීබ් රිපෝල් නගරයේ ඉන්ටර්නෙට් කැෆේ එකක් පවත්වාගෙන ගොස් ඇති අතර, ඔහු නිතරම මොරොක්කෝව වෙත මුදල් යවා ඇති බවද මේ වනවිට අනාවරණය වී තිබේ.
ස්පාඤ්ඤ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෙරාඩ් කොලොම්බ් පවසා සිටියේ මෙම ත්රස්තයන් ප්‍රහාරයට පෙර දින ප්‍රංශය වෙත ගොස් යළි පැමිණ ඇති බවයි. නමුත්, මෙම ප්‍රහාරයට ප්‍රංශ ත්‍රස්ත ජාලයක් සම්බන්ධ නොවන බවත්, මෙය ස්පාඤ්ඤය තුළම ඇති වූ ජිහාඩ් අන්තවාදයක පුපුරා යෑමක් බවත් අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා තහවුරු කර තිබේ.