බාසිලෝනා නගරයේදී 13 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ වෑන් රථ ප්‍රහාරයේ ජිහාඩ් ත්‍රස්ත ජාලය විනාශ කළ බව ස්පාඤ්ඤයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජුආන් ඉග්නෝසියා සොයිඩෝ පවසයි.
"බාසිලෝනා ප්‍රහාරයේ ත්‍රස්ත ජාලය සම්පූර්ණයෙන්ම විනාශ කළා. ප්‍රහාරයෙන් මියගිය හා ප්‍රහාරයෙන් පසුව අත්අඩංගුවට පත් පිරිස් පිළිබඳ පැවැත්වෙන පරීක්ෂණ මගින් මේ ගැන තහවුරු කළ හැකියි" යනුවෙන් හෙතෙම මාධ්‍යයට පවසා සිටියේය.
කෙසේ වෙතත්, එරට කැටලාන් පළාත් ආණ්ඩුව පවසන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්විය යුතු තව පිරිසක් සිටින බවයි.
මෙම ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු පිළිබඳ තවමත් අවිනිශ්චිතතාවක් පවතින බව පෙන්වා දෙන කැටලාන් රජය, ඔහු ප්‍රහාරයෙන් පසුව පැන යන්නට ඇති බව විශ්වාස කරයි.
පසුගිය බ්‍රහස්පතිනිදා දිනයේ කැටලාන් අගනුවරදී සිදුවූ වෑන් රථ ප්‍රහාරයේ සී.සී.ටී.වී. දසුන් මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී ඇති අතර, නිදහසේ මහමඟ ගමන් කරන මිනිසුන් ඒ බිහිසුණු අත්දැකීමට මුහුණදෙන ආකාරය රූපරාමුවල දැකිය හැකිය.
ප්‍රහාරයේදී වේගයෙන් පැමිණි වෑන් රථය පදික වේදිකාවේ ගමන් කරන මිනිසුන් මතින් දිවයන අතර, තවත් බොහෝ දෙනෙක් ඉතා ක්ෂණයකින් ඒ මහා අනතුරින් දිවි ගලවා ගන්නා ආකාරයද දැකිය හැකිය.
මෙම ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසුව කැම්බ්රිල්ස් නගරයේදීද කාර් රථ ප්‍රහාරයක් සිදුවීමට ගිය අතර, එහිදි පොලිස් වෙඩි පහරින් ත්රස්තයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. නමුත්, එම ප්‍රහාරයේදීද එක් කාන්තාවක දිවියෙන් සමුගත්තාය.