ඉන්දියාවේ හීන කුලවල දරුවන්ට පාසල් පන්ති කාමරයේදී කුඩම්මාගේ සැලකිල්ලක් හිමිවන බවට හියුමන් රයිට් වොච් සංවිධානය පෙන්වා දී තිබේ.
සමාජයෙන් කොන් වූ මෙම ජන කොටස්වල දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ප්‍රතික්ෂේප කරමින් දිගින් දිගටම ඔවුන් නොසලකා හරිමින් කටයුතු කරණ බවද ඔවුන් පෙන්වා දෙයි.
ඒ අනුව, ගෝත්‍රික, මුස්ලිම් සහ පාරම්පරික හින්දු කුල පද්ධතියේ අඩු කුලයට අයත් බවට සැලකෙන දාලිත් පවුල්වල ළමයින්ට පන්ති කාමරයේදී පසු පෙළ අසුනක හෝ වෙනම කාමරයක අසුන් ගෙන අධ්‍යාපනය ලැබීමට සිදුවන බවද කියැවෙයි. එමෙන්ම, මෙම කුලවල දරුවන්ට බොහෝ විට අපහාසාත්මක වදනින් ආමන්ත්‍රණය කෙරෙන බවටද චෝදනාවන් පවතී.
වැඩිහිටියන් මෙන් අවබෝධයක් නොමැති, පහසුවෙන් පීඩාවට පත්වන ළමයින්ට ඉන්දීය පාසල්වල සලකන ආකාරය පිළිබඳ මීට වඩා නිරීක්ෂණය කළ යුතු බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.