පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර ඉස්ලාම් අන්තවාදීන් ප්රකෝපකාරී ලෙස හැසිරීමත් සමග හමුදාව කැඳවීමට එරට රජයට සිදුව තිබේ.
එරට ප්‍රධාන අධිවේගී මාර්ගයක් වන සයිසාබාද් හුවමාරුව අසල ප්රචණ්ඩ අයුරින් හැසිරුණු පිරිස් විසුරුවා හැරීමට හමුදාව ක්‍රියාකිරීම නිසා පුද්ගලයන් 200කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. එමෙන්ම, මරණ කිහිපයක් සිදුව ඇති බවද විදෙස් වාර්තා පවසයි.
දෙවියන්ට අපහාස කළේ යැයි පවසමින් පාකිස්තානයේ අධිකරණ අමාත්‍ය සහීඩ් හමීඩ් ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සති කිහිපයක සිට මෙම මාර්ගය වසා ගනිමින් විරෝධතාකරුවන් රැඳී සිට තිබුණි.
එරට මාධ්‍ය වාර්තා කළේ මෙම අන්තවාදී පිරිස් පන්ජාබ් ප්‍රාන්තයේ වූ අමාත්‍යවරයාගේ නිවාසය වෙතද පහරදීමක් සිදුකර ඇති බවයි. කෙසේ වෙතත්, එම අවස්ථාවේදී අමාත්‍යවරයා හෝ ඔහුගේ පවුලේ අය එහි සිට නොමැත.
මෙම අන්තවාදීන් මේ වනවිට ලාහෝර් මෙන්ම දකුණුදිග කරච්චි යන නගර වෙතද බලපෑම් කරමින් විරෝධතා පැවැත්වෙන බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, ඊයේ සවස එරට රජය විසින් ඉස්ලාමාබාද් නගරයට හමුදාව කැඳවා තිබුණි.
නගරයේ බලධාරීන් මෙම කලහකාරී පිරිස් විසුරුවා හැරීමට අපොහොසත් වීම නිසා මෙසේ හමුදාව යෙදවීමට සිදුවූ බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසා තිබේ.
පාකිස්තානය තුළ මේ ආකාරයෙන් මුස්ලිම් අන්තවාදීන් නිරන්තරයෙන් නැගී සිටීම පසුගිය කාලය පුරා සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.