මීට වසර දෙකකට පෙර ඇල්ජීරියානු ගෑස් කර්මාන්ත ශාලාවක් පුපුරුවාහැරීමට අණදුන් ප්‍රබල ඉස්ලාමීය අන්තවාදී නායකයෙකු ඇමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් ලිබියාවේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මොක්තාර් බෙල්මොක්තාර් සහ තවත් සටන්කාමීන් පිරිසක් එරට නැගෙනහිර අජ්ඩාබියා නගරය ආශ්‍රිතව එල්ල කෙරුණු ඇමෙරිකානු ප්‍රහාරයකින් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව ලිබියානු රජය පවසයි.
මේ අතර, බෙල්මොක්තාර් මෙම ප්‍රහාරයේදී ඉලක්ක කළ බව ඇමෙරිකාව කියා සිටියත්, ඉන් ඔහු ජීවිතක්ෂයට පත්වූ බව තහවුරු කර නැත.
පෙන්ටගනය පවසන්නේ ප්‍රහාරය සාර්ථක බවයි. කෙසේ වෙතත්, තම නිලධාරීන් ප්‍රහාරයේ ප්‍රතිඵල තක්සේරු කරමින් සිටින බවද ඔවුන් කියයි.
පෙන්ටගන් මාධ්‍ය ප්‍රකාශක කර්නල් ස්ටීව් වොරන් පවසන්නේ හැකි ඉක්මණින් නිවැරදි දත්ත සැපයීමට කටයුතු කරන බවයි.
මීට පෙරද බෙල්මොක්තාර් ඝාතනය වූ බවට වාර්තා වුවත්, එය වැරදි තොරතුරක් බව පසුව කියවුණි.