බ්රසීල ජනාධිපතිනි ඩිල්මා රුයුසෙෆ් තනතුරින් ඉවත් කිරීමට බ්රසීල සෙනේට් සභාව තීරණය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඇයට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගය පිළිබඳව විභාගය අවසානයේ සෙනේට් සභිකයන් 81කගෙන් 61 දෙනෙකුම ඇය වැරදිකාරිය බවට නිගමනය කිරීමත් සමග ඩිල්මාට ජනපති ධුරය අහිමි වී ඇත.
දිගින් දිගටම වැඩි වූ අයවැය පරතරය සැඟවීම සඳහා මීට වසර දෙකකට පෙර දත්ත විකෘති කරමින් අයවැය වාරතාවක් ඉදිරිපත් කිරීම ඇයට එරෙහිව පැන නැගී තිබූ චෝදනාවයි.
ඒ අනුව, බ්රසීල උප ජනාධිපති මිෂෙල් ටර්මර් එරට නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත අතර, ඔහු මෙතෙක් එරට වැඩබලන ජනාධිපතිවරයා ලෙසද කටයුතු කළේය.
තනතුරින් ඉවත්ව ගියත් ඩිල්මා රොයුසෙෆ් බ්රසීලයේ ජනාධිපති ධුරයකට පත්වූ ප්රථම කාන්තාව ලෙස ඉතිහාසගත වී අවසන්ය.
කෙසේ වෙතත්, තමා වෙත එල්ල වූ දෝෂාභියෝගය විරුද්ධවාදීන්ගේ කුමන්ත්රණයක් බව ඇය කියයි.