බොකෝ හරාම් ඉස්ලාමීය අන්තවාදී ත්රස්තයන් විසින් මීට දින 100කට පමණ පෙර පැහැරගන්නා ලද ගැහැණු දරුවන්ගේ දෙමවුපියන් හමුවීමට නයිජීරියානු ජනාධීපති ගුඩ්ලක් ජොනතන් කටයුතු කළේය.
රජය විසින් ඔවුන් වෙනුවෙන් විශේෂ ගුවන් යානයක් සූදානම් කර තිබූ අතර, 150කට වැඩි දෙමවුපියන් පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.
මෙම දරුවන් පැහැරගැනීමේ සිදුවීමේදී නිවැරදි තීන්දු තීරණ ගනිමින් කටයුතු නොකළ බවට ජනාධිපතිවරයා දෝෂාරෝපණයට ලක්ව ඇති පසුබිමක දෙමවුපියන් හමුවීම සම්බන්ධයෙන් ඔහුද පසුපසට අදිමින් සිටි බව කියැවෙයි.
මේ අතර, පැහැරගත් ගැහැණු දරුවන්ගෙන් දෙමවුපියන් 11 දෙනෙකු එම සිදුවීමෙන් පසු වරින් වර සිදුවූ බොකෝ හරාම් ප්රහාරයන් නිසා ජීවිතයෙන් සමුගෙන ඇති බවද පැවසෙයි.
200කට වැඩි පාසල් දැරියන් බොකෝ හරාම් ත්රස්තයන් පැහැරගැනීමේ සිදුවීම ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළත්, ඉස්ලාමීය අන්තවාදීන් එම දරුවන්ට නිදහස ලබාදී නැත.
ඔවුන් පවසන්නේ ආරක්ෂක අංශ අත්අඩංගුවේ සිටින තම සටන්කරුවන් හා ඔවුන්ගේ ඥාතීන් නිදහස් කරන තුරු දරුවන් නිදහස් නොකරන බවය.
නමුත්, නයිජීරියානු රජය එම ඉල්ලීම තරයේ ප්රතික්ෂේප කර සිටී.