උතුරු කොරියාවෙන් සිදුකරන කුපිත කිරීම් හමුවේ ඇමෙරිකාව තම ආසියානු මිතුරෙකු වූ දකුණු කොරියාව සමග උරෙන් උර සිටින බව මෙවර ආසියානු සංචාරය අතරතුර දකුණු කොරියාවට පැමිණි අමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා පවසා සිටියේය.
සිය සංචාරය ආරම්භ කරමින් මුලින්ම ජපානයේ සංචාරය කළ ඇමෙරිකානු ජනාධිපතිවරයා අනතුරව දකුණු කොරියාවට පැමිණ එරට ජනාධිපතිනී පාක් ග්වෙන්-හයි හමුවූ අවස්ථාවේදී මෙසේ අදහස් දක්වා සිටියේය.
උතුරු කොරියාව විසින් ඔවුන්ගේ සිව්වැනි න්‍යෂ්ටික අත්හදා බැලීම සිදුකිරීමට යන බවට තොරතුරු වාර්තාවන අතරවාරයේදීම ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ දකුණු කොරියානු සංචාරය සිදුවීමද විශේෂත්වයකි.
මෙම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය සතියේදි සිදුවූ මගී යාත්‍රා අනතුර සම්බන්ධයෙන් සිය බලවත් ශෝකය ප්‍රකාශ කිරීමටද අමතක නොකළේය.
යාත්‍රා අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ දරුවන්ගේ සම වයස් දියණියන් දෙදෙනෙකුගේ පියෙකු ලෙස මේ දරුවන්ගේ අහිමි වීම හමුවේ ඒ දෙමවුපියන්ගේ සිත් තුළ වේදනාව තමන්ට හොඳින් වැටහෙන්නේ යැයි ඔබාමා පවසා සිටියේය.
හරිතවර්ණ කොළ ඇති, මල් හටගන්නා මැගෝනිලා ශාකයක් තමන් ධවල මන්දිරයේ සිට රැගෙන ආ බවත්, එය යාත්‍රා අනතුරින් ජිවිතක්ෂයට පත් සුන්දර දරුවන් සිහි කැඳවීම පිණිස එම උසස් පාසලේ සිටුවීම සඳහා ලබාදෙන බවත් ඔබාමා ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.