ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව සන්නිවේදන අධ්‍යක්ෂවරිය ලෙස 28 හැවිරිදි හිටපු නිරූපිකාවක් පත්ව තිබේ.
ජනධිපතිවරයාගේ සන්නිවේදන අධ්යක්ෂ ධුරයේ දින 10ක කාලයක් සේවය කිරීමෙන් පසුව සේවයෙන් පහ කළ ඇන්තනී ස්කාර්මූචිගෙන් පුරප්පාඩු වූ මෙම ධුරය සඳහා තේරීපත්ව ඇති මෙම සුරූපිනිය හෝප් හික්ස් ය.
දේශපාලන පසුබිමක් නොතිබුණත්, පසුගිය වසර පහක කාලය තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් පවුල හා සමීප ඇසුරක් පැවැත්වීම ඇයට මෙම තනතුර හිමිවීමට ආසන්නතම හේතුව බව කියැවෙයි.
ජනාධිපතිවරයාගේ සමීප සේවකයෙකු මෙන්ම, ඉහළ වැටුපක් ලබන තැනැත්තියක ලෙස කටයුතු කිරීමට ඇය සූදානම් වන අතර, වසරකට ඇ.ඩො.180,000ක පමණ වේතනයක් ඇය වෙනුවෙන් හිමිවනු ඇති බව සඳහන්ය.
ඇමෙරිකානු ජනපති දියණිය වන ඉවන්කා ට්‍රම්ප්ගේ විලාසිතා සමාගමේ මහජන සම්බන්ධතා නිලධාරිනියක ලෙස සිය සේවය ආරම්භ කළ ඇය, සිය වෘත්තියට අමතරව නිරූපණ ශිල්පිනියක ලෙසද සඟරා කවර පවා සරසා ඇත්තියකි.
සිය වැඩිමහලු දියණිය හෙවත් ඉවන්කාගේ සහකාරියක ලෙස කටයුතු කිරීමත් සමග ඇය නිරන්තරයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇස ගැටීම අරුමයක් නොවේ.
ඒ අනුව, ප්‍රථම වරට 2014 වසරේ අග භාගයේදී ට්‍රම්ප්ගේ දේපළ වෙළෙඳාම් සමාගමේද මහජන සම්බන්ධතා රාජකාරීන් ඇය වෙත පැවරෙයි.
කෙසේ වෙතත්, ක්‍රමයෙන් ට්‍රම්ප් ඇමෙරිකානු ජනාධිපතිවරණ සටනට පැමිණෙන විට වඩාත් සමීපව සිටි ඇය, ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම පවත්වා ගෙන යෑමටද විශාල දායකත්වයක් ලබාදුන් තැනැත්තිය ලෙස සැලකෙයි.
අවසානයේදී ට්‍රම්ප් ඇමෙරිකානු ජනාධිපතිවරණ සටනේ ඉදිරියට පැමිණෙන විට ඔහුගේ දේශපාලන දිවිය හෝ ව්‍යාපාරි දිවිය යන දෙකෙන් එකක් තෝරාගැනීමට ඇයට සිදුවෙයි.
ඒ අනුව, ට්‍රම්ප් විසින් පෞද්ගලිකවම ඇයට සිය දේශපාලන කණ්ඩායමට පැමිණෙන ලෙස ආරාධනා කිරීමත් සමග ඇය එම ආරාධනය පිළිගනී.
ඇයගේ සන්නිවේදන අධ්යක්ෂ ධුරය අතුරු කාලයක් සඳහා සිදුවූ පත්වීමක් වුවත්, එය ඇයට සිය වෘත්තීය දිවියේ වේගවත් ඉදිරි පිම්මක් ලබාගැනීමට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් බව ඇමෙරිකානු මාධ්‍ය පවසයි.