සාමාන්‍යයෙන් සපා කෑවොත් සුනඛයෙක්, එහෙමත් නැත්නම් සර්පයෙක් හෝ ටිකක් දරුණු සතෙක් වෙන්න ඕනෙ. ඒත් පහුගිය දවසක ලෝක කුසලාන පාපන්දු තරගයක් අතරතුරදිත් සපා කෑමක් සිදුවුණා. හැබැයි එතන සපා කෑවෙ කලින් කියපු ජාතියෙ කෙනෙක් නම් නෙමෙයි. ඒ උරුගුවේ පාපන්දු කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ලුයිස් සුආරෙස්.
මේ සිදුවීමෙන් පස්සෙ සුආරෙස් ඈඳා ගත්ත අපූරු ඡායාරූප හා නිර්මාණ අන්තර්ජාලය පුරා උණු කැවුම් වගේ හුවමාරු වෙන්න ගත්තා. මේ අතරින් සමහර තැන්වල සුආරෙස් ඩ්රැක්යුලා වෙලා තිබුණා. තවත් තැනක මිනී මෝරෙක් වෙලා තිබුණා. තවත් තැනක මුඛ වාඩමක් බැඳගෙන පාපන්දු ක්‍රීඩා කරන සුආරෙස් දැකගන්න ලැබුණා. කොච්චර දක්ෂයෙක් වුණත්, සුආරෙස්ගේ සපා කෑමේ පුරුද්ද මේ දැවැන්ත ලෝක කුසලානය හමුවේ සුආරෙස්ටම පාරා වලල්ලක් වුණා.
තරගාවලිය අතරතුර කාගේත් කතාබහට ලක්වෙච්ච මේ සුපිරි ක්‍රීඩකයා ඉතාලිය සමග පැවති තරගය අතරතුර ඉතාලි ක්‍රීඩක ජිඔර්ජිඕ චිඑල්ලිනීගේ උරහිස සපා කෑවෙ පිස්සු බල්ලෙක් වගේම තමා කියලයි සමහර අය කියන්නෙ. එහෙම සපා කාලත් අත්වැරැද්දක් වුණා වගේ දත් කුට්ටම අල්ලගෙන පොඩි ඇඩ් එකක් දාන්නත් සුආරෙස් අමතක කළේ නෑ.
ඒත් ඒ ඇඩ් එක වැඩ කළේ නෑ. සුආරෙස්ට තරග තහනමක් පැනවිලා. ඒ ගැන පරීක්ෂණයක් කරපු බලධාරීන් ඉදිරි තරග නවයක් ක්‍රීඩා කිරීම සුආරෙස්ට තහනම් කරලා. එතැනින් නවැතිලා නෑ. තවත් මාස හතරක කාලයක් පාපන්දු ක්‍රීඩාව සම්බන්ධ කිසිම ආකාරයක වැඩසටහනකට සම්බන්ධ වීමටත් ඔහුට අවස්ථාව අහිමි කරලා. එයිනුත් සෑහීමකට පත්නොවී ඇ.ඩො.111,000ක දඩයකුත් ගහලා. ඒ කියන්නෙ සෙනසුරාදා පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගෙ උරුගුවේ කණ්ඩායමට මේ සුපිරි තරුව පායන්නේ නෑ කියන එකයි.
ඕන එකයි, එපා එකයි හැම දේම හපාකන්න ගියොත් ඕනෑම සුපිරි තරුවකට මේ වගේ ඉල්ල ගෙන කන්න වෙනව කියන එකට මේක හොඳ උදාහරණයක්. මිනිහ දක්ෂයා කියල ලෝකෙම දන්න බව ඇත්ත. ඉඳහිට බිහිවෙන අග්‍රගණ්‍ය ප්‍රහාරකයෙක් බවත් ඇත්ත. ඒත්, ක්‍රීඩාවේ විනය පවත්වා ගන්න මේ වගේ තීරණයක් ගත්ත කියල තමයි ෆිෆා මාධ්‍ය ප්‍රකාශිකා ඩේලියා ෆිෂර් මහත්මිය රියෝ නුවරදී කිව්වෙ.
ඒ කොහොම වුණත් සුආරෙස්ගෙ සපා කෑමට ගෑනු ළමයි නම් කැමතියි වගේ තමයි මේ ඡායාරූපවලින් අපිට පේන්නෙ. නෑ අපි කිව්වෙ ඉතිං, ගෑනු ළමයි කොහොමත් xxxxxxxxxxxxxx (බලධාරියා විසින් කපා හරින ලදී. ඉතිරිය පුරවා ගැනීමට පාඨක ඔබට අවස්ථාව...)