ජනප්රිය හොලිවුඩ් නළු ටොම් කෘස්, මිෂන් ඉම්පොසිබල් නවතම චිත්රපටයේ රූගත කිරීමක් අතරතුර සිදුවූ හදිසි අනතුරකින් අස්ථි බිඳීමකට ලක්ව ඇති නිසා චිත්රපටයේ වැඩකටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බව නිෂ්පාදකයෝ පවසති.
චිත්රපටයේ ක්රියාදාම ජවනිකාවක උස් ගොඩනැගිලි දෙකක් අතරින් සිදුකරන පැනීමක් රූගත කිරීමට යාමේදී සිදුවූ මෙම අනතුරින් ටොම් කෘස්ගේ වළලුකර බිඳී ඇති අතර, පසුව වහාම ඔහු රෝහල්ගත කිරිමට පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත්, පැරමවුන්ට් පික්චර්ස් සමාගම පවසන්නේ නියමිත දින යොදාගත් පරිදි මිෂන් ඉම්පොසිබල් - 6 චිත්රපටය ලබන වසරේ ජූලි මාසයේදී එළිදැක්වෙනු ඇති බවයි.
හොලිවුඩයේ නළුවන් අතර ක්රියාදාම දසුන් තමන් විසින්ම රඟ දැක්වීමෙන් නමක් දිනූ අයෙකු ලෙස 55 හැවිරිදි වියේ පසුවන ටොම් කෘස් කීර්තියක් උසුලයි.
එමෙන්ම, මෙතෙක් නිපදවූ මිෂන් ඉම්පොසිබල් චිත්රපට සමග ප්රේක්ෂකයා වසඟයට ගත් සුපිරි නළුවෙකු ලෙසද ටොම් කෘස් හැඳින ගැනෙයි.
මෙම අවාසනාවන්ත සිදුවීමත් සමග පැරමවුන්ට් පික්චර්ස් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, "මිෂන් ඉම්පොසිබල් නවතම චිත්රපටයේ ක්රියාදාම දසුනක් රූගත කිරීම් අතරතුර ටොම් කෘස් වළලුකර බිඳීමකට ලක්වුණා. ඒ අනුව, ටොම් සම්පූර්ණ සුවය ලබන තුරු චිත්රපටයේ නිෂ්පාදන කටයුතු තාවකාලිකව නවතා දමනවා. නමුත්, 2018 ජූලි 27 වැනිදා එළිදැක්වීමට නියමිතයි.
ඒ වගේම, මේ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් කනගාටුවට පත් හා ඔහුට සහයෝගය දැක්වූ ඔබ සියලු දෙනාට ස්තූති කිරීමටත් ටොම් අවස්ථාවක් කර ගන්නවා. ඒ වගේම, ලබන වසරේ ග්රීෂ්ම සෘතුවේදී මේ නවතම චිත්රපටය ඔබ සමග බෙදාහදා ගන්නා තුරු ටොම් නොඉවසිල්ලෙන් බලා සිටිනවා. " යනුවෙනි.