රාජ්‍යයන් 6ක සංක්‍රමණිකයන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තාවකාලිකව වළක්වමින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් රැගෙන ආ නව විධායක නියෝගයට හවායි ප්‍රාන්තයේ දිස්ත්‍රික් විනිසුරුවකු විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
මෙම සංක්‍රමණික නියෝගය ඇමෙරිකාව තුළ ක්‍රියාත්මක වීමට පැය කිහිපයක් තිබියදී මෙම තහනම් නියෝගය නිකුත් වීමද විශේෂත්වයකි.
මෙම තහනම ගෙන එමින් දිස්ත්‍රික් විනිසුරු ඩෙරික් වොට්සන් පවසා සිටියේ එහි අඩංගු කරුණු සම්බන්ධයෙන් යම් ගැටලුසහගත බවක් පවතින බැවින් මෙවැනි පියවරක් ගත් බවයි. විශේෂයෙන්ම ඇමෙරිකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙම තහනම පනවන බව රජය පැවසුවත්, එහි ප්‍රශ්න කළ යුතු තැන් පවතින බව විනිසුරුවරයා පවසා තිබේ. එමෙන්ම, එමගින් ඇමෙරිකානු ව්‍යවස්ථාවේ යම් යම් කරුණු උල්ලංඝනය වන බවද විනිසුරුවන් පෙන්වා දී ඇත.
මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ මෙය පෙර නොවූවිරූ ලෙස අධිකරණය සිදුකළ අනවශ්‍ය අතපෙවීමක් බවයි.
ත්රස්තවාදීන් ඇමෙරිකාවට ඇතුළුවීම වැළැක්වීම හා එරට ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙවැනි පියවරක් ගත් බව ට්‍රම්ප් මෙවර විධායක නියෝගය ගෙන එමින් පවසා තිබුණි.
එමෙන්ම, මෙවර සංක්‍රමණ තාවකාලිකව තහනම් කර ඇති රාජ්‍යයන් ලෙස ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය, යේමනය සහ සිරියාව යන රටවල් ඇතුළත් වුවත්, පසුගිය වර තහනමට ඇතුළත් වූ ඉරාකය ඉවත්කර තිබීමද කැපී පෙනෙයි.