ඊජිප්තුවේ සංචාරයක නිරත ඇමෙරිකානු රාජ්ය ලේකම් ජෝන් කෙරී, එරට නව ජනාධිපති අබ්දුල් ෆාටා අල් සිසී සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඩ් මෝසි බලයෙන් පහ කළ හිටපු හමුදාපති අබ්දුල් ෆාටා අල් සිසී පසුගිය මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් දැවැන්ත ජයග්රහණයක් අත්කර ගනිමින් එරට පාලන බලය සියතට ගත්තේය.
එසේ නව ජනාධිපතිවරයෙකු පත්වීමෙන් පසු ඉහළ පෙළේ ඇමරිකානු රාජ්ය නිලධාරියෙක් ඊජිප්තුවට පැමිණි ප්රථම අවස්ථාව මෙය බව කියැවෙයි.
කෙසේ වෙතත් මෙහිදී ජෝන් කෙරී විසින් නව ජනාධිපතිවරයාට අවධාරණය කර ඇත්තේ දේශපාලනය දෙසට වැඩි වශයෙන් යොමු වෙමින්, දැනට තහනම් කර ඇති මුස්ලිම් සහෝදරත්වය සමග සංවාදයකට යොමු වන ලෙසයි.
එමෙන්ම මේ වනවිට මරණ දණ්ඩනයට නියම වූ මුස්ලිම් සහෝදරත්වයේ සාමාජිකයන් පිළිබඳ අවධානය යොමු කිරීම හා සිරගත කර සිටින මාධ්යවේදියන් නිදහස් කරන මෙන්ද ජෝන් කෙරී ඊජිප්තු නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව කියැවෙයි.
මේ අතර, ඇ.ඩො.මිලියන 575ක ආරක්ෂක ප්රදානයක් ඊජිප්තුව වෙත ඇමෙරිකාව විසින් මුදාහැර ඇති බවද ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තු නිලධාරීහු පවසති.