ප්‍රංශ ජනාධිපති ප්රංශුවා හොලන්ඩේගේ අලුත් පෙම්වතිය වන ජූලි ගයේට් රඟපෑ කාමෝන්මාදයෙන් පෙළෙන රාජතාන්ත්රිකවරියකගේ චරිතය වෙනුවෙන්, ඇගේ නම ප්‍රංශයේ ප්‍රමුඛතම සිනමා සම්මානයක් සඳහා ඊයේ (31දා) යෝජනා විය.
41 වැනි වියෙහි පසුවන ජූලි ගයේට්, ඇය රඟපෑ ‘Quai d'Orsay’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ‘හොඳම සහාය නිළිය’ චරිතයට මෙසේ යෝජනා වී ඇත්තේ, එරට ජාතික සිනමා සම්මාන උලෙළක් ලෙස සැලකෙන ‘සීසර්’ සම්මානය සඳහාය. ‘සීසර්’ සිනමා සම්මාන උලෙළ සාමාන්‍යයෙන් සැලකෙන්නෙ ‘ප්‍රංශ ඔස්කාර්’ සිනමා සම්මාන උලෙළ ලෙසිනි.
එම චිත්‍රපටයේ ඇය ප්‍රංශ විදේශ අමාත්‍යාංශයේ රාජතාන්ත්‍රික කටයුතු භාර නිලධාරිනියක ලෙස රංගනයෙන් දායක වන අතර, චිත්‍රපටය පුරා කෙටි සායවලින් සැරසී සරාගී පෙනුමකින් තිරයට පැමිණෙන ඇය රාජතාන්ත්‍රික කටයුතුවලදී රට රටවල ප්‍රබල චරිත සිය වසඟයට ගන්නා අයුරු නිරූපණය කරයි.
කෙසේ වෙතත්, මේ සම්මානය වෙනුවෙන් ජූලිගේ නම යෝජනා වීම වඩාත් කතාබහට ලක්ව තිබෙන්නේ මේ දිනවල ඇය සැබෑ ජීවිතයේදීද ප්‍රංශයේ ප්රබලතම චරිතයක් සිය වසඟයට ගෙන ඇති නිසාය.
එය සනාථ කරමින් ප්‍රංශ ජනාධිපති ප්රංශුවා හොලන්ඩේ පසුගියදා සිය සහකාරිය වූ වැලේරි ට්රයිවෙයිලර්ගෙන් වෙන් වන බව නිල වශයෙන් දැනුම් දුන් බව මේ වනවිට ලෝකයටම නොරහසකි.
ප්‍රංශයේ ‘ක්ලේසර්’ සඟරාව ප්‍රංශුවාගේ සහ ජූලිගේ අනියම් ප්‍රේමය පිළිබඳ ඡායාරූප සහිත විශේෂාංග ලිපියක් සිය සඟරාවේ පළ කිරීමත් සමග මේ අනියම් ප්‍රේමය පිළිබඳ ලොවම දැනගත් අතර, අවසානයේ එය සැබෑවක් බව ප්රත්යක්ෂ වීමට වැඩි කාලයක් ගත නොවීය.
ජනාධිපතිවරයා සිය සහකාරිය වූ වැලේරි සමග වසන අතරතුරම ජූලි සමගත් හොර රහසේ මේ සම්බන්ධතාව පවත්වාගෙන ගොස් ඇති අතර, ඔවුන් බොහෝ අවස්ථාවල පැරිස් නගරයේ පිහිටි ජූලිගේ නවාතැනේදී හමුවී ඇත. ස්කූටරයක නැගී ජූලි බැලීමට පැමිණෙන ජනාධිපතිවරයා, ඇතැම් රාත්‍රීන්හිදී ජූලිද ස්කූටරයේ නංවාගෙන පැරීසිය පුරා සැරිසරා ඇති බවද කියැවෙයි.
මේ වනවිට, ප්‍රංශ ජනාධිපතිවරයා වැලේරිගෙන් වෙන්වන බව නිල වශයෙන් කියා සිටියත්, තමන් ජූලි සමග එක්වීමක් ගැන ඔහු මුනිවත රකිමින් සිටියි. නමුදු, ‘Quai d'Orsay’ චිත්‍රපටයේ රංගනය මෙන්ම, සැබෑ ජීවිතයේදීද ජූලි ගයේට් මේ වනවිටත් ප්‍රංශයේ මහා බලවතා සිය වසඟයට ගැනීම තුළ, ‘ජූලි ගයේට්ව ජනාධිපති මන්දිරය වෙත කැඳවාගෙන පැමිණෙනවා’ යන වදන ප්රංශුවා හොලන්ඩේගේ මුවින් නිල වශයේ ප්‍රකාශ කෙරෙන දිනය වැඩි ඈතක නොවන බව ප්‍රංශ මාධ්‍ය පවසයි.