ප්රංශ ජනාධිපති ප්රංශුවා හොලන්ඩේ සමග මේ දිනවල කියැවෙන ප්රංශ නිළි ජූලි ගෙයිට්, ජනාධිපතිවරයා හා ඇය සම්බන්ධයෙන් ගෙනහැර දක්වන අනියම් සම්බන්ධය ඡායාරූප සමග ලොවට හෙළිකළ 'ක්ලෝසර්' සඟරාවට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ.
පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම යටතේ සඟරාවට එරෙහිව ඇය චෝදනා ගොනුකරමින් සිටින බව ප්රංශ පුවත් සේවය වෙත 'ක්ලෝසර්' සඟරාව පවසා ඇත.
41 වැනි වියෙහි පසුවන ජූලි තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් යූරෝ 50,000 ක වන්දියක් හා යූරෝ 4,000ක නීතීඥ ගාස්තු 'ක්ලෝසර්' සඟරාවෙන් අයකර ගැනීමට බලාපොරොත්තු වෙයි.
ප්රංශ පුවත් සේවය පෙන්වා දෙන පරිදි ඇය මෙම නඩුවෙන් ජයග්රහණය කළහොත් ක්ලෝසර් සඟරාවට සිය මුල් පිටුවේම අදාළ නඩු තීන්දුව පළ කිරීමට සිදුවනු ඇත.
කෙසේ වෙතත් මේ පිළිබඳ වාර්තාව පළවූ සැණින් අදාළ සඟරාවට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගන්නා බවට පළමු අනතුරු ඇඟවීම කළද ජනාධිපති හොලන්ඩේ ඒ සම්බන්ධයෙන් නීතිමය ක්රියාමාර්ගයකට පිවිසියේ නැත.
ක්ලෝසර් සඟරාව පිටු හතක් පුරා පළ කළ මේ වාර්තාවත් සමග ප්රංශ ජනාධිපතිවරයාගේ ජනාධිපති පුටුව දෙදරා ගිය අතර, ඔහුගේ වර්තමාන සහකාරිය වන වැලේරි රෝහල්ගත කිරීමටද සිදුවිය.