කාන්තාවකගේ කඳින් වෙන්කළ හිසක් ජපානයේ ඔසාකා නගරයේ ඇමෙරිකානුවෙකු රැඳී සිටි නවාතැනකින් හමුවීමත් සමග ඔහු අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරීමට ජපාන පොලීසිය කටයුතු කර තිබේ.
ගමන් මල්ලක තිබී සොයාගෙන ඇති මෙම කාන්තා හිස මෙම සැකකාර ඇමෙරිකානු ජාතිකයා හමුවීමට පැමිණි ජපාන ජාතික 27 හැවිරිදි තරුණියගේ හිස බව පොලීසිය විශ්වාස කරයි.
ඇය මෙම ඇමෙරිකානු ජාතිකයා සමග ගමන් කරන ආකාරය අවසන් වරට සී.සී.ටී.වී. දර්ශනවල දැකගත හැකි වූ බව පොලීසිය පවසයි.
එමෙන්ම, ඇය සිය මිතුරියන්ට පවසා ඇත්තේ තමන් අන්තර්ජාල ඇප් වැඩසටහනකින් හමුවූ ඇමෙරිකානු මිතුරෙකු මුණ ගැසීමට යන බවයි.
කෙසේ වෙතත්, අත්අඩංගුවට පත් 26 හැවිරිදි යෙව්ජෙනී වැසිලිවිෂ් බෙයිරක්තාර් නමැති නිව්යෝක් නුවර පදිංචි මෙම සැකකරු පොලීසියට පවසා ඇත්තේ තමන් එම කාන්තාව සමග කිසිදු සබඳතාවක් නොපැවැත්වූ බවකි.
එමෙන්ම, කාන්තා හිස පමණක් හමු වුවත්, එම සිරුරේ අනෙක් කිසිදු කොටසක් මෙතෙක් හමුව නොමැති බව පවසන ජපාන පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකෙරෙන බවද පවසයි.