විවාදයට තුඩුදී ඇති දකුණුදිග චීන මුහුදේ චීනය විසින් නිර්මාණය කර ඇති කෘත්‍රිම දිවයින වෙත චීන මගී ගුවන් යානා දෙකක් ගොඩ බස්වා ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඊයේ දිනයේදී එක් ගුවන් යානයක් ගොඩබස්වා ජාත්‍යන්තර අවධානය මේ වෙත යොමුවීමත් සමග අද දිනයේදී තවත් යානයක් මෙසේ ගොඩබස්වා තිබේ.
යොන්ග්ෂු නමින් හැඳින්වෙන මෙම කෘත්‍රිම දිවයින වෙත ගොඩබස්වන ලද යානාවන්ගේ ඡායාරූපද එරට ෂිංහුවා පුවත් සේවය ප්‍රසිද්ධියට පත්කර තිබුණි.
චීනය විසින් මෙම මගී ගුවන් යානා ගොඩබෑම සම්බන්ධයෙන් ඇමෙරිකාව හා වියට්නාමයද උදහසට පත්ව තිබුණි.
ස්වභාවික සම්පත්වලින් අනූන දකුණු චීන මුහුද වියට්නාමය හා පිලිපීනය ආදී වශයෙන් තවත් ආසියානු රටවල් කිහිපයකට අයිතිව පැවතියත්, චීනය විසින් මෙම කෘත්‍රිම දිවයින ඉදිකිරීම හරහා එහි වැඩි බලය තහවුරු කරගැනීමකට කටයුතු කරන බවට චෝදනා නැගෙයි.