චීනයේ, බටහිරදිග ෂින්ජියාන්ග් පළාතේ ඉස්ලාමීය අන්තවාදය පරාජයට පත්කිරීමේ අරමුණින් නව නීති පද්ධතියක් හඳුන්වාදීමට චීන රජය කටයුතු කර තිබේ.
ඒ අනුව, අනවශ්‍ය පරිදි දිගැටි රැවුල් වැවීම, පොදු ස්ථානවල මුහුණ සම්පූර්ණයෙන් ආවරණය වන ඇඳුම් ඇඳීම සහ එරට රජයේ රූපවාහිනිය නැරඹීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මෙම නව නීති සම්පාදනය කර තිබේ.
චීනයේ වෙසෙන උයිගුරු මුස්ලිම් ප්‍රජාව ජීවත්වන ෂින්ජියාන්ග් පළාත තුළ පසුගිය කාලය පුරාවට අන්තවාදී මුස්ලිම් නැගිටීම් දැකිය හැකි විය.
ඒ නිසාම පසුගිය වසර කිහිපයේදී විවිධ ගැටුම් හා බෝම්බ පිපිරීම්ද මෙම කලාපයෙන් වාර්තා වූ අතර, එය චීනයේ ස්වෛරීත්වයට අනතුරක් බව චීන රජය අවධාරණය කරයි.
ඉස්ලාම් අන්තවාදීන් හා බෙදුම්වාදීන් මෙම ම්ලේච්ඡ ක්‍රියාවන් පසුපස සිටින බවට චෝදනා නගන චීන රජය තවදුරටත් අන්තවාදීන්ට හිස එසවීමට අවස්ථාව නොතබන බවද අවධාරණය කර තිබේ.