චීන ගුවන් සීමාවට අනවසරයෙන් ඇතුළු වී ඇතැයි කියන ඉන්දීය ඩ්‍රෝන යානයක් කඩා වැටී ඇති බව චීන මාධ්‍ය වාර්තා පවසයි.
චීනයේ බටහිර යුද කඳවුරෙහි නියෝජ්‍ය අධ්යක්ෂ සැන්ග් ෂුයිලි විසින් මෙම අනාවරණය සිදුකර ඇතත් එය සිදුවූ නිශ්චිත කාල වකවානුවක් පිළිබඳව හෙතෙම ඉඟි කර නොමැත.
කෙසේ වෙතත්, මෙම ක්‍රියාව ඔස්සේ චීනයේ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීමට ඉන්දියාව කටයුතු කර ඇති බවට චීන නියෝජිතයා චෝදනා කරයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති ඉන්දියාව පවසන්නේ හමුදා පුහුණුවීම්වලට යොදවා තිබූ මෙම ඩ්‍රෝන යානය එම පුහුණුවීම් අතරතුර යාන්ත්‍රික දෝෂයකට ලක්ව චීන දේශසීමාවේ කඩා වැටී ඇති බවයි.
එය ඉන්දීය පාලනයෙන් මිදී ගොස් සිදුවූ අනතුරක් බවද පවසන ඉන්දියාව, මේ සම්බන්ධයෙන් එම සිදුවීම සිදුවූ වහාම චීන බලධාරීන් දැනුවත් කළ බවද පවසා තිබේ.
කෙසේ වෙතත්, හිමාලයේ දේශසීමා අර්බුදයක් හේතුවෙන් යම් මතගැටුමක සිටින ඉන්දියාවට හා චීනයට මෙය කිසිසේත්ම සුළු සිද්ධියක් නොවන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.