වර්ජීනියා හි චාර්ලට්ස්විලී හිදී අන්ත දක්ෂිණාංශික හා ඊට විරුද්ධ කණ්ඩායම්වල උද්ඝෝෂණ අතර සිදුවූ ගැටුම් සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම චෝදනා ලැබිය යුතු බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරයි.
සුදු ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින අන්ත දක්ෂිණාංශිකයන්ගේ ක්‍රියාපිළිවෙත නිවේදනයක් නිකුත් කරමින් හෙළා දැක තිබූ ජනාධිපතිවරයා, පසුව නිව්යෝක් නුවරදී පවසා තිබුණේ සුදු පෙරමුණට එරෙහිව කටයුතු කළ අන්ත වාමාශික ආධාරකරුවන්ද චෝදනා ලැබිය යුතු බවයි.
තමන් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමට යම් කාලයක් ගනු ලැබුවේ මෙම සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතීව වාර්තාවක් ලබාගැනීමට බවත්, ඒ අනුව, මෙහි සියලු තතු වටහා ගැනීමෙන් පසුව මෙසේ අදහස් දක්වන බවත්වය.
මේ අතර, අන්ත දක්ෂිණාංශිකයන්ගේ ක්‍රියා හෙළා දැකීමට ජනපති ට්‍රම්ප් ක්‍රියා නොකළ බවට ඔහුට විරුද්ධව මීට පෙර මතයක්ද මාධ්‍ය තුළ ඇති කරමින් තිබුණි.
මෙහිදී, 32 හැවිරිදි හෙදර් හේයර් ජීවිතක්ෂයට පත්ව, තවත් 19 දෙනෙකු තුවාල ලැබුවේ චාර්ලට්ස්විලි හිදී අන්ත දක්ෂිණාංශික රැළියට විරෝධය පාමින් සංවිධානය වූ අන්ත වාමාංශික රැළිය වෙත කාර් රථයක් කඩා වැදීමෙනි.
මෙම මෝටර් රථය ධාවනය කළ රියදුරා තමන්ට මෙන්ම තම රටටත් මහත් අවමානයක් සිදුකළ බව ට්‍රම්ප් වැඩිදුරටත් පවසා තිබුණි.