මෙය ක්‍රීඩාවෙන් ඔබ්බට ගිය කතාවකි. මේ දිනවල රුසියාවේදී ශිත සෘතු සෝචි ඔල්ම්පික් ක්‍රීඩා උලෙළ අතිශය තරගකාරී අන්දමින් පැවැත්වෙමින් තිබෙන බව නොදන්නා අයද විය හැකිය. නමුත්, මේ කතාව ක්‍රීඩා තරගයකින් එහා ගිය තරගයක් ගැනය. එනම්, ලොවපුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණය වෙනුවෙන් තියුණු තරගයක් ලබාදෙන සෝචි ඔල්ම්පික් ක්‍රීඩා උලෙළ තුළ පැවැත්වෙන තවත් තරගයක් ගැනය. මේ තරගය පැවැත්වෙන්නේ ක්‍රීඩා ලෝලීන් අතරය. ලෝලීන් යැයි කිව්වත්, ක්‍රීඩා ලෝලී කාන්තාවන් අතරය. වයස් භේදයකින් තොරව, ඔවුන් මේ තරගයට ඇතුළු වී ඇති බව සැබෑය.
හිමමත ලිස්සා යන ‘ස්කේටින්’ ක්‍රීඩාවේ ලෝකශූරතා පදක්කම් හයකට උරුමකම් කියන ප්‍රංශ ජාතික බ්‍රයන් ජුබෙයර්ගේ හදවත දිනාගැනීමට කාන්තාවන් පොරකමින් තරග වදින බව ඒ සුවිශේෂි කතා ප්රවෘත්තියයි.
තරගාවලියේ ‘පෝස්ටර් කොල්ලා’ ඔහුය. ඔහු වෙත ළඟාවීම සඳහා මෙවර ක්‍රීඩා උලෙළට සහභාගි වී සිටින කාන්තාවන් නොකරන දෙයක් නැත. නොකරන පරිත්‍යාගයක් නැත. බ්‍රයන් තමන් මුහුණදී සිටින මේ කාන්තා වශිය ගැන දක්වන්නේ මෙවැනි අදහකි.
“මට විවාහ යෝජනා ගේන කාන්තාවන් මෙතෙකැයි කියන්න බෑ. ඇතැම් විවාහක කාන්තාවන් තම ස්වාමියාගෙන් දික්කසාද වී මා සමග එන්න පොරකනවා. ඔවුන් හිත්න්නේ එය හරිම තීරණය කියලයි” 2007 ලෝක ශූරතාවට හිමිකම් කියන බ්‍රයන් කියයි. ඇතැම් කාන්තාවන් ඔහු දැකීමේ අටියෙන් ඔහු නැවතී සිටින හෝටලය අවට රාත්‍රී කාලයේ පවා නිදාසිටින බවද කියැවෙයි.
“මගේ නියෝජිතවරිය වීමේ කැමැත්තෙන් සිටින තරුණියක් හිටියා. ඇය මගේ නියෝජිතවරිය කියා ඇතැම් අයට කියා තිබුණා. ඇත්තටම ඒ අවස්ථාවේදී නම් ඇය විශාල අර්බුදයක්ද ඇති කළා. කොහොම වුණත් මේ සියලු දෙනා මගේ ක්‍රීඩාලෝලීන් නිසා මා නීතිමය පියවරක් ගත්තේ නෑ”
“ඇතැම් තරුණියන් ඔවුන්ගේ යට ඇඳුම් තුළ මට තෑගිබෝග සඟවා ඇති බව පවසනවා. තවත් අය ඔවුන්ගේ තිසර මත අත්සන් තබන්න යැයි කියනවා. තවත් අයට ඔවුන්ගේ තට්ටමේ මා ලවා අත්සනක් තබාගැනීමට ඕනෑ යැයි බැගෑපත් වෙනවා” බ්‍රයන් මේ සියල්ල පවසන්නේ සිනහ මුසු මුහුණිනි.
මෑතකදී ඉතාලි ජාතික කාන්තාවක ට්රෙසිං කඩදාසියක්ද රැගෙන ඔහු සොයා පැමිණ එහි අත්සන් කරන ලෙස පවසා ඇත. “ඇත්තටම ඇයට අවශ්‍ය වෙලා තියෙන්නෙ මගේ අත්සනින් පච්චයක් කොටා ගන්නයි. ඒ පච්චය කොටාගන්නෙ කොහෙද කියා නම් මා ඇහුවෙ නහැ. බොහෝ වෙලාවට පච්චය කොටාගත් පසුව එය මට ඇවිත් පෙන්වන්න පුළුවන්” 29 හැවිරිදි කඩවසම් බ්‍රයන් හඬනඟා සිනාසෙමින් පවසයි.
බ්‍රයන් ජුබෙයර් මේ ආකාරයෙන් කාන්තා හමුදාවක ලුහුබැඳීමකට ලක්වන්නේ සෝචි ඔලිම්පික් උලෙළේදී පමණක් නොවෙයි. මීට වසර කිහිපයක සිටම ඔහු පසුපස තරුණියන් ලුහුබඳින බව කියැවෙයි. ඇතැම් කාන්තාවන් වසර ගණනාවක සිට ඔහු පසුපසම එයි. ඔහු ජපානයේ සංචාරයකට ගියත්, චීනයේ සංචාරයකට ගියත් ඔහු පසුපසම සිටින කාන්තාවන් සිටින බව කියැවෙයි. ඔවුන් මේ ආකාරයෙන් කිලේමීටර් දහස් ගණන් දුර ගෙවාගෙන බ්‍රයන් සොයා පැමිණීමෙන් බොහෝ විට ඔවුන්ට දැකගැනීමට ලැබෙන්නේ ඔහුගේ සුළු දර්ශනයක් වෙනුවෙනි. නමුත්, අසුරුසැණින් ලැබෙන ඒ සජීවි රූපය මේ කාන්තාවන්ට ප්‍රමාණවත් යැයි පැවසුවොත් ඔබ පුදුම වනු ඇත. ඒ තරමටම ඔවුන් බ්‍රයන්ට වශී වී ඇත.
බ්‍රයන් පවසන ආකාරයට තමන්ගේ සෑම ක්‍රීඩා ලෝලියෙක්ම ඔහුගේ මිතුරු මිතුරියන් පමණි. ඉන් ඔබ්බට ඔවුන් සමග ඇසුරක් නොමැති බව ඔහු පවසයි. පසුගිය වසර 12ක කාලය තුළ ඔහුට කාන්තාවන්ගෙන් ලැබුණු තෑගි ප්‍රමාණයද සුළුපටු නොවෙයි.
“ඇඳුම් පැළඳුම්, ටෙඩීබෙයාර්, මල් ආදී විවිධ දේ අතර තිබෙනවා. මට ලැබෙන තෑගිබෝග අතරින් චිත්‍ර සහ ඇතැම් කලාකෘති මා සන්තකයේ තබාගෙන අනෙක් දේවල් මා කුඩා දරුවන්ට බෙදා දෙනවා. ඇත්තටම ඒ තෑගිබෝග වර්ග මීටර් 50ක විතර කාමරයක් පුරවන්න තරම් තිබෙනවා”
බ්‍රයන් යනු දහවතාවකදී යුරෝපිය කුසලානයට හිමිකම් පෑ ක්‍රීඩා තරුවකි. ඔහු මෙවර සහභාගි වන්නේ සිය අවසන් ඔලිම්පික් ක්‍රීඩා උලෙළ වීමද විශේෂත්වයකි.
නමුත්, ඔහු අවසාන වශයෙන් ලබාදෙන පණිවුඩය ඔහු ගැන බලාපොරොත්තු තබා සිටින සියලු කාන්තාවන්ට ශෝකය ගෙනදෙන්නක් බවනොකිවමනාය. ඒ මේ මොහොත වනවිටත් ඔහුගේ හදවත සොරාගත් රුවැත්තියක සිටින බව බ්‍රයන් පවසන නිසාය. බ්‍රයන් එසේ කිවත්, ඔහු පසුපස පැමිණෙන කාන්තා හමුදාවේ නම් අඩු නොවනු ඇති බව බ්‍රයන්ගේ මිතුරන් පවසයි.