කෙන්යාවේ පැවති මහ මැතිවරණයේදී එරට මැතිවරණ කොමිසමේ පරිගණක පද්ධතිය කිසිවෙකු විසින් හැක් කරමින් එහි ප්‍රතිඵල වෙනස් කර ඇති බවට විපක්ෂය නඟන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බව එම කොමිසම අවධාරණය කරයි.
කෙන්යානු මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ මැතිවරණ නිලධාරී එස්රා චිලෝබා මාධ්‍ය අමතමින් පවසා සිටියේ කිසිදු අවස්ථාවක සිය පරිගණක පද්ධතිය හැක් කිරීමකට ලක් නොවූ බවයි.
මැතිවරණ ප්‍රතිඵල ලැබීමත් සමග වත්මන් ජනපති උහුරු කෙන්යාටා ඉහළ ඡන්ද ප්‍රමාණයක් සමග ජයග්‍රහණය කිරීම කිසිසේත්ම සිදුනොවිය යුත්තක් බව පවසමින් විරුද්ධ පක්ෂ නායක රයිලා ඔඩින්ගා විසින් ඡන්ද ප්‍රතිඵල ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව මැතිවරණ කොමිසම මෙම නිවේදනය සිදුකරනු ලැබීය.
විරුද්ධ පක්ෂය කියා සිටියේ මෙම ඡන්ද ප්‍රතිඵලය රට පුරා විවිධ විරෝධතා හා ප්‍රචණ්ඩක්‍රියා ඇති වීමට හේතු විය හැකි බවයි.