කාන්තාවන් කෙටි සාය ඇඳීම තහනම් කරමින් උගන්ඩා පාර්ලිමේන්තුවේ සම්මත වූ මතභේදාත්මක පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් කෙටි සායවලින්ම සැරසී කම්පාලා අගනුවර විරෝධතා රැළියකට එක්වූ කාන්තාවන්ට පොලීසිය විසින් බාධා කර ඇති බව වාර්තා වෙයි.
මේ තත්ත්වය තුළ 200ක් පමණ කාන්තාවන් කම්පාලා අගනුවර ජාතික රංගශාලාව ඉදිරිපිට දැඩි විරෝධතාවක් දක්වමින්, කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නඟමින් සිටි බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
පසුගිය කාල සීමාවේදී කෙටි සායවලින් සැරසී ගමන් කළ කාන්තාවන්ට නිතර සිදුවූ හිරිහැර හා දූෂණය කිරීම් හේතුවෙන් උගන්ඩා ජනාධිපතිවරයාද පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනතට අත්සන් කරමින් නීතිය ක්‍රියාත්මක කිරීමට අවසර ලබාදී තිබේ. එමෙන්ම, මෙම පනතින් සංගීත වීඩියෝ ඇතුළුව කාමෝද්දීපනය කරන ද්‍රව්‍යයද තහනම් කර තිබේ.
දණහිසට ඉහළින් සිටින සේ කෙටි සාය අඳින කාන්තාවන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් උගන්ඩාවේ ආචාරධර්ම පිළිබඳ අමාත්‍ය සයිමන් ලොකෝඩෝ පසුගිය වසරේ ජනවාරි මාසයේදී මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර, පසුව දෙසැම්බර් මාසයේදී එය පනතක් ලෙස සම්මත කෙරිණි. කෙසේ වෙතත්, පනත බලාත්මක කරමින් එය නීතියක් ලෙස ක්‍රියාවට නැංවීමට ජනපතිවරයාගේ අනුමැතිය හිමි විය යුතු විය. ඒ අනුව, ජනාධිපතිවරයා මේ වනවිට පනතට අත්සන් කරමින් එය නීතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට පොලීසියට බලය ලබාදී තිබේ.