උතුරු කොරියානු නායක කිම් ජෝන්ග්-උන්ගේ නැසීගිය සොයුරු කිම් ජෝන්ග්-නාම්ගේ මෘත ශරීරය ඔහුගේ මරණයෙන් සති කිහිපයකට පසුව උතුරු කොරියාව වෙත භාරදීමට මැලේසියාව කටයුතු කර තිබේ.
මීට සති හයකට පෙර ක්වාලලම්පූර් ගුවන් තොටුපොළේදී කිම් ජෝන්ග්-නාම් ඝාතනයට ලක්වූයේ කාන්තාවක විසින් ඔහුට විෂ ශරීරගත කරවීම හේතුවෙනි.
කෙසේ වෙතත්, මෙම මරණයත් සමග දෙරට අතර රාජතාන්ත්රික වශයෙන් උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර, මෙම මරණය සම්බන්ධයෙන් උතුරු කොරියාව වගකිව යුතු බව සෘජුව ප්රකාශ නොකළද, මැලේසියාවේ අදහස් දැක්වීම් තුළ එවැනි චෝදනාවක් ගැබ්ව තිබුණි.
අවසානයේදී මේ සම්බන්ධයෙන් දෙරටේ නියෝජිතයන් විශේෂ සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වීමෙන් අනතුරුව මෘත ශරීරය උතුරු කොරියාවට භාරදීමට හදිසි මරණ පරීක්ෂකවරයාගේ අනුමැතිය හිමිවූ බව මැලේසියානු අගමැති නජීබ් රසාක් පවසා සිටියේය.
මෙම උණුසුම් තත්ත්වය පහව යෑමත් සමග උතුරු කොරියාවේ රඳවා ගැනුණු මැලේසියානුවන් 9 දෙනෙකුට යළි සිය රට බලා පැමිණීමට උතුරු කොරියාව අවස්ථාව ලබාදුන් බවද අගමැතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.