උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන්ගේ සහෝදරයා (අර්ධ) වන මැලේසියාවේදී ඝාතනයට ලක්වූ කිම් ජෝන්ග්-නාම්ගේ මෘත ශරීරය භාරගැනීමට මෙතෙක් කිසිදු ඥාතියෙකු ඉදිරිපත්ව නොමැති බව එරට රජය පවසයි.
විෂ ශරීරගත කරවීමක් හරහා දැනට මසකට පමණ පෙරදී මැලේසියාවේ ක්වාලලම්පූර් ගුවන් තොටුපොළේදී කිම් ජෝන්ග්-නාම් ඝාතනයට ලක්විය.
කෙසේ වෙතත්, ක්වාලලම්පූර් නුවර මෘත ශරීරාගාරයක දැඩි ආරක්ෂක රැකවල් යටතේ තැන්පත් කර ඇති නාම්ගේ සිරුර භාරගැනීම සඳහා තවත් සති දෙක තුනක කාලයක් ඔහුගේ ඥාතීන්ට ලබාදෙන බව පවසන මැලේසියානු රජය ඉන් පසුව ඒ සම්බන්ධයෙන් අවසන් පියවරක් ගන්නා බව අවධාරණය කර තිබේ.
විවාහකයෙකු වන නාම්ට දාව දරුවන්ද සිටියත්, ඔවුන් උතුරු කොරියාවේ ජීවත් නොවෙයි. මීට සතියකට පමණ පෙර ඔහුගේ පුතෙකු යැයි සඳහන් කළ අයෙකු වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහරිමින් එය තම පියාගේ දේහය බවට තහවුරු කළත් එය භාරගන්නා බවට කිසිවක් සඳහන් කර නොතිබුණි. නමුත්, උතුරු කොරියානු රජය මුල සිටම මෘත ශරීරය ඉල්ලා සිටි අතර, මෙම මරණය සම්බන්ධයෙන් ඇති වූ මතභේදමත එය මෙතෙක් සිදු නොකෙරිණි.