ඇගේ නම වුන්ඩා. ඒත් ඇගේ නමේ තේරුම පෙනෙන තරම් සුන්දර නෑ. කොංගෝ භාෂාවෙන් වුන්ඩා යනු'මරණාසන්න' යන්නයි. සැබවින්ම වුන්ඩා මුලින්ම හමුවන අවස්ථාවේ ඇය සිටියේ මරණාසන්න අවස්ථාවකයි. කොංගෝ ජනරජයේ ඇති වෛද්‍ය ජේන් ගුඩෝල්ගේ චුම්පුන්ගා චිම්පන්සි පුනරුත්ථාපන කඳවුර වෙත ඇය රැගෙන යන්නේ ඒ අවාසනාවන්ත ඉරණමෙන් ඇය මුදවා ගන්නයි. අපේ කතා නායිකාව අසරණ ච්ම්පන්සියෙක්.
සැබවින්ම මේ කතාව සතුන්ට මිනිසුන්ට වඩා ගුණ තිබෙන බව කියාපාන්නක්. සතුන් කලගුණ අමතක නොකරන බව කියාපාන්නක්. මරණාසන්නව සිටි තමාට යළි ජීවය දුන් මනුසතාට සමුදී නැවත වනාන්තරයට යන අවසන් මොහොත හා ඒකාත්මික වීමක්.
චුම්පුන්ගා චිම්පන්සි පුනරුත්ථාපන කඳවුර ආරම්භ වන්නේ මීට වසර විස්සකට පෙරයි. මස් පිණිස, නිවාසවල ඇති කිරීමට අල්ලා ගන්නා චිම්පන්සීන් ආදී වශයෙන් නීති විරෝධී ලෙස අල්ලා ගැනෙන අසරණ සත්වයින් බොහෝ විට මේ කඳවුරට ලැබෙන්නේ ඔවුන්ගේ වාසනාවටයි. මේ කඳවුරේ රැකවරණය ලැබීමට තරම් වුන්ඩාද වාසනාවන්ත වූ බව නොකිවමනායි.
විවිධ රෝගාබාධයන්ට ලක්ව, ඇට ගැසුණු ශරීරයකින් හෙබිව සිටි වුන්ඩා වෛද්‍ය ජේන් ගුඩෝල් විසින් රැගෙන යනවා. ඇගේ චුම්පුන්ගා චිම්පන්සි පුනරුත්ථාපන කඳවුර වෙත රැගෙන ගිය වුන්ඩා පිළිබඳව සම්පූර්ණ වගකීම වෛද්‍ය රෙබෙකා ඇටෙන්සියා වෙත පැවරෙනවා. සෑම උදෑසනකම ඇයට කිරි ලීටරයක් ලැබෙනවා. අවශ්‍ය ප්‍රතිකාර කෙරෙනවා. ඇයගේ සුවදුක් නිතර සොයා බැලෙනවා. ක්‍රම ක්‍රමයෙන් වුන්ඩා යථාතත්ත්වයට පත්වෙනවා. වෛද්‍ය ජේන් මෙන්ම වෛද්‍ය රෙබෙකා ඇයව නැවත වනාන්තරයටම නිදහස් කිරීමට තීරණය කරන්නේ වුන්ඩා හොඳ ශරීර සෞඛ්‍යයකින් පසුවන බව ඔවුන්ට ප්රත්යක්ෂ වූ පසුවයි.
කොයිලෝ ගංඟාව ආශ්රිත චින්ඩ්සෝලෝ දූපතේ පිහිටි මනරම් අභයභූමිය වෙත ඇය රැගෙන යාම ඇරඹෙන්නේ ඒ අනුවයි. ලී කූඩුවක බහා ගංගාවද එතෙර කරමින් වුන්ඩා සිය අලුත් නවාතැන වෙත පැමිණෙනවා.
ලී කූඩුව බිම තබා එහි දොර විවෘත කළ පසු ඒ මතට වුන්ඩා පැමිණෙනවා. මේ අවස්ථාවේ භයේ දිවීමට උත්සාහ කළත් ඇය නැවත ලී කූඩුව මතම වාඩිවී තමාගේ අලුත් නිවහන දෙස බලනවා.
ඒ ක්ෂණයෙන් ඇය වෛද්‍ය ජේන් වෙත හැරෙමින් ඇයව තදින් බදාගන්නවා. විනාඩි කිහිපයක් මනුෂ්‍යයෙකු හා චිම්පන්සියෙකු වචනයෙන් නොකියූ බොහෝ දේ මනසින් කතා කරනවා. ඒ අවස්ථාව අසල සිටි වෛද්‍ය රෙබෙකා මෙන්ම, චුම්පුන්ගා ච්මිපන්සි පුනරුත්ථාපන කඳවුරේ සිටි සැමගේ හදවත් සසල කරවන මොහොතක් වෙනවා.
තමාව මෙතෙක් කල් ආරක්ෂා කරමින්, තමන්ට අගනා ස්වභාවික නවාතැනක නිදහසේ ජීවත් වීමට අවස්ථාව ලබාදුන් මනුසතාට මේ තිරිසනා කෘතගුණ දක්වන්නේ, කෘතගුණ නොදත් මිනිසුන් වෙත වචනයෙන් විස්තර කළ නොහැකි ජීවිතාවබෝධයක් ලබාදෙමිනුයි.
ක්‍රමයෙන් වනාන්තරය වෙත ඇදෙන වුන්ඩා එහි වෙසෙන චිම්පන්සීන් සමග එකතුව නොපෙනී වන වදුලේ සැඟව යනවා.