බෝට්ටු හරහා සාගරයෙන් පැමිණෙන සංක්‍රමිකයන්ට බල පැවැත්වෙන නීතියේ නව සංශෝධනවලට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී අති බව බී.බී.සී.ය පවසයි.
සරණාගතයන්ට තාවකාලික වීසා බලපත් නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් යළිහඳුන්වා දීමට එමගින් පියවර ගෙන ඇති අතර, එම තාවකාලික වීසා නිකුත් කරනු ලැබීමේ නව විධික්රමය විවාදයට තුඩු දී ඇති බවද කියැවෙයි.
හඳුන්වාදී ඇති නව සංශෝධන අනුව ඔස්ට්‍රේලියාවට ඇතුල්වන සරණාගතයන්ට සංක්‍රමණික වෘත්තිකයන් වශයෙන් හෝ ශිෂ්‍ය වීසා ඉල්ලා සිටීමට අවසර ලැබෙන අතර, ඔවුන්ට වසර තුනේ පටන් වසර පහක කාලයක් එරට ජීවත් වෙමින් රැකියා කිරීමේ අයිතිය ලැබෙනු ඇති බවද පැවසෙයි.
මේ අනුව සංක්‍රමණිකයන්ට පිරිනැමෙන වීසා බලපත් කාලය නිමවීමෙන් අනතුරුව ඔවුන් යළි ඔවුන්ගේ මුල් රටවලට පිටුවහල් කරනු ලැබීමට ඔස්ටේලියානු බලධාරීන්ට බලය ලැබෙන අතර, මේ අනුව සංක්‍රමණිකයන්ට නිත්‍ය වශයෙන් ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමේ අයිතිය අහිමි කර ඇති බවද කියැවෙයි.
මේ අනුව නව සංශෝධිත ඔස්ට්‍රේලියානු නීතිය පවතින සංක්‍රමණික රෙගුලාසි තවත් දැඩි කිරීමක් බව බී.බී.සී.ය පවසයි.