ඔස්ට්‍රේලියාවේ, නිව් සවුත්වේල්ස් හි වෙරළ තීරයක ගිනිකෙළි සංදර්ශනයක් සඳහා ගිනිකෙළි රැගෙන ගිය පාරුවක් ගිනිගැනීම හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
නිව් සවුත් වේල්ස් හි ටෙරිගල් වෙරළේදී මෙම අනතුර සිදුව ඇත්තේ නව අවුරුදු උදාවට විනාඩි කිහිපයකට පෙරදීය.
ගිනිකෙළිවල පැවති දෝෂයක් මෙම හදිසි ගිනි ගැනීමට හේතුව බව මූලික පරීක්ෂණවලින් අනාවරණය කරගෙන ඇත.
මෙම පිපිරීමත් සමග වෙරළ තීරයේ සිටි දහස් ගණන් ජනයා ආරක්ෂාව පතා එම වෙරළ කලාපයෙන් ඉවත් කිරීමට පොලීසිය කටයුතු කර ඇත.
පසුව එම කලාපය සම්පූර්ණයෙන්ම වසා දැමීමටත් පොලීසිය කටයුතු කර ඇත. තුවාල ලැබූ දෙදෙනා ගිනිකෙළි රැගෙන ගිය ගිනිවෙඩි කාර්මික ශිල්පීන් දෙදෙනෙකු වන අතර, ඔවුන් පිපිරීමත් සමග පාරුවෙන් මුහුදට පැන දිවි බේරාගෙන ඇති අතර, ඔවුන් පිහිනා වෙරළට පැමිණි පසුව සිදුවූ පිළිස්සුම් තුවාලවලට ප්‍රතිකාර කර තිබේ.