ඔස්ට්‍රේලියාවේ, සිඩ්නි නගරයට කිලෝමීටර් 50ක් පමණ උතුරු දෙසින් වූ ගංගාවක් වෙත දියමත ගොඩබෑම සිදුකළ හැකි සීප්ලේන් යානයක් කඩා වැටීම නිසා එහි ගමන්ගත් පුද්ගලයන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
නිව් සවුත්වේල්ස් පොලීසිය පවසා සිටියේ හෝක්ස්බරි ගංගාව වෙත යානය කඩා වැටී මෙම අනතුර සිදුව ඇති බවයි.
පොලිස් කිමිදුම්කරුවන් යොදා ගනිමින් පුද්ගලයන් තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනීමට හැකිවූ බවත්, මීටර් 13ක් පමණ ගැඹුරු ගංගා පතුලේ යානය පවතින බවත් පොලීසිය කියයි.
මෙම අනතුරින් මියගිය අය කවුරුන්ද යන්න මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති වුවත්, මියගිය අය අතර බාළ වයස්කාර දරුවෙකු සිටින බවද විශ්වාස කෙරෙයි.
මේ අතර, ගුවන් යානයේ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවත්, අනතුරට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.