ජාවා මුහුදට කඩා වැටුණු එයාර්ඒෂියා 8501 යානයේ සුන්බුන් සොයා සිදුකළ සෝදිසි මෙහෙයුම් නිල වශයෙන් අවසන් කළ බව සෝදිසි මෙහෙයුම් භාර ඉන්දුනීසියානු ප්රධානියා පවසයි.
බැම්බැන්ග් සොඑල්ස්ටියෝ පවසන්නේ සෝදිසි මෙහෙයුම්වල යෙදෙන නෞකා බදාදා දිනය වනවිට සම්පූර්ණයෙන්ම එම කලාපයෙන් ඉවත් කරන බවයි.
එයාර්ඒෂියා 8501 යානය සමග පැවති සබඳතා බිඳ වැටීමත් සමග පසුගිය දෙසැම්බර් 28 වැනිදා යානය අතුරුදන් වූයේ පුද්ගලයන් 162 දෙනෙකු සමගය. ඒ වනවිට ඉන්දුනීසියාවේ සුරබයා ගුවන් තොටුපොළේ සිට සිංගප්පූරුව බලා එය ගමන් කරමින් තිබුණි.
කෙසේ වෙතත් පසුව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී යානයේ සුන්බුන් සොයාගැනීමට හැකි වූ අතර, මළ සිරුරු 106ක්ද සොයා ගැනීමට හැකිවිය.