ඉරාක IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තවාදීන්ගේ අවසන් ප්‍රබල බලකඳවුර වන මොසුල් නගරය අත්පත් කරගැනීම සඳහා සිදුකෙරෙන මෙහෙයුම් දැඩි කිරීමත් සමග ත්රස්තයන් පිරිසක් නගරය තුළ කොටුවී සිටින බව සඳහන් වෙයි.
මෙම මෙහෙයුම් සඳහා සම්බන්ධ ඒකාබද්ධ හමුදා පෙරමුණ වෙනුවෙන් ඇමෙරිකානු විශේෂ නියෝජිත බ්‍රෙට් මැක්ගර්ග් මෙම අනාවරණය සිදුකර තිබේ.
ඒ අනුව, මොසුල් නගරයේ සම්පූර්ණ බලය අත්පත් කරගැනීම පමණක් නොව, ත්රස්තයන් බේරීපළා යාම වළක්වමින් ඔවුන් මරාදැමීම හෝ අත්අඩංගුවට ගැනීමට ඒකාබද්ධ හමුදා ක්‍රියාකරන බවද හෙතෙම පවසා ඇත.
ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් මොසුල් නගරයේ සිටින සාමාන්‍ය ජනතාව මිනිස් පළිහක් ලෙස යොදාගෙන ඇති බවද බ්‍රෙට් මැක්ගර්ග්ගේ අදහස් දැක්වීමේදී තහවුරු වී තිබීම විශේෂත්වයකි. කෙසේ වෙතත්, එදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ.ය මිනිස් පළිහක් යොදාගනිද්දී ත්රස්තයන්ට සුදුහුණු ගෑ විදෙස් මාධ්‍ය විසින්ම, මෙවර තම න්‍යාය පත්‍රය වෙනස් නිසා එවැනි මිනිස් පළිහක් පිළිගැනීමත් හාස්‍යජනකය.
මේ අතර, නගරයේ කොටුවී සිටින ත්රස්තයන් නගරය තුළම මැරෙන්නට හැරීමක් ගැනද මැක්ගර්ග් පවසා ඇති අතර, එහිදී, මිනිස් පළිහක් ලෙස යොදාගෙන ඇති මිනිසුන්ට සිදුවන දෙයක් ගැන සඳහනක් නොවීමද විශේෂත්වයකි.
ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත නායක අබුබකර් සිය අනුගාමිකයන්ට පවසා ඇත්තේ මෝසුල් අත්නොහරින ලෙසයි. ආත්ම ගෞරවය රැකගෙන මැරෙන තුරු සටන් කිරීම නගරය අත්හැර ලැජ්ජාවෙන් පළායෑමට වඩා දසදහස් ගණනින් වැටිනා බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.