උතුරු කොරියානු නායක කිම් ජෝන්ග්-උන් තරුණියන් වට කරගෙන කරන්නේ කුමක්ද යන්න ඔබ බැලිය හැකිය. මොවුන් ඔහුගෙන් ආදරය අයැද සිටින පෙම්වතියන්දැයි ඔබ සිතිය හැකිය. නමුත්, කිම් ජොන්ග්-උන් මෙන්ම ඔහුගේ පරම්පරාව ගැන දන්නා අයට කොළ කඩාපෑමට අවශ්‍ය නැත.
උතුරු කොරියානු නායක කිම් ජෝන්ග්-උන් යනු පියාගේ අභාවයෙන් පසුව බලයට පැමිණි තරුණ නායකයෙකු බව සැබෑය. දේශපාලන අත්දැකීම් නොමැති වීම නිසාම කිම්ගේ ක්‍රියාකලාපයන් ගැන මේ වනවිට ලෝකයම දැස් දල්වාගෙන සිටින බවද සැබෑය.
මෑතකදී තම මාමා ඇතුළු සමීපතමයන් කිහිප දෙනෙකුට එරෙහිව චෝදනා ගොනුකරමින් ඔවුන්ට මරණ දඬුවම දීමට කිම් කටයුතු කර තිබුනේ, තමාට එල්ල විය හැකි අභියෝග විනාශ කිරීමේ උවමනාවෙන්ය. බලය හමුවේ ඔහු ඥාතීත්වයද අමතක කළේ එසේය. මේ තත්ත්වය තුළ කිම්ගේ ජනප්‍රියත්වය ඔහුගේ රට තුළදීම ඔහුට අහිමි වනු ඇති බවටද නොයෙක් වර විදෙස් පුවත් සේවා හරහා වාර්තා විය.
නමුත්, තම ජනප්‍රියත්වය තවමත් අඩු වී නැති බව පැවසීමට කිම් කටයුතු කරන බවට මේ ඡායාරූප කදිම උදාහරණයන්ය. එහි දැක්වෙන්නේ, කිම්ගේ ඇඟේ එල්ලී තම පෙම්වතා අත්නොහැර යන පෙම්වතියන් වැනි දසුන්ය. මී වදයකට රොද බඳින මී මැස්සන් වැනි දසුන්ය.
ඒ තරුණියන් විසිවැනි ශත වර්ශයේ ගුවන් නියමුවන් වැනි ඇඳුම්වලින් සැරසී 31 හැවිරිදි ඒකාධිපති නායකයා වටා රෝක් වූහ. කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය මේ ඡායාරූප ඉදිරිපත් කරමින් කියා සිටියේද මේ තරුණියන් එරට ගුවන් හමුදා සෙබලියන් හා ගුවන් නියමුවන් බවය.
මුලින් සඳහන් කළ ආකාරයටම, කිම් ජොන්ග්-උන් මේ ආකාරයෙන් තමන් වෙත රටේ ජනතාවගේ ආකර්ෂණය පවතින බව දැක්වෙන ඡායාරූප කිහිපයක් වරින් වර ඉදිරිපත් කිරීම සාමාන්‍ය සිදුවීමක්ය. වරෙක දරුවන් සමග, වරෙක තරුණියන් සමග ඔහු සිටින ඡායාරූප කරළියට පැමිණෙන අතර, ඒ සෑම අවස්ථාවකම ඒ දරුවන්, තරුණියන් හඬා වැටෙමින් ඔහු අල්ලා සිටිනු දැකිය හැකිය. මෙවර ඡායාරූප එකතුවේ නැත්තේ තරුණියන්ගේ කඳුළු පමණය. නමුත්, ලෝකයට පෙන්වීමට යන මේ ලෙංගතුකම් සැබෑම ලෙංගතුකමක්දැයි දන්නේ කිම් ජොන්ග්-උන් සහ ඔහු වටා සිටින ඒ තරුණියන්ම බවද පැවසිය යුතුය.