උතුරු කොරියාව පසුගියදා සිදුකළ මිසයිල අත්හදා බැලීමකදී, ඔවුන් විසින් එල්ල කරන ලද මිසයිලයක් චීන මගී ගුවන් යානයක් ආසන්නයෙන්ම ඇදී ගොස් ඇති බවට දකුණු කොරියාව චෝදනා නඟයි.
ප්යොන්ග් යැන්ග් පාලනය මැතකදී සිදුකළ මිසයිල අත්හදා බැලීම් අතර, පසුගිය අඟහරුවාදා සිදුකළ මිසයිල අත්හදා බැලීමකදී මෙය සිදුවී ඇති බව පැවසෙයි.
"ඉන් අනතුරක් වුනේ නැතත්, ඉතාම අනතුරුදායක හා අතිශය අවදානම් සහගත තත්ත්වයක් උදාවීමට ඉඩ තිබුණා" යැයි දකුණු කොරියානු ප්‍රකාශකයෙක් කීය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන චීන විදේශ අමාත්‍යාංශය පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු තමන් බලාපොරොත්තු වන බවයි.
උතුරු කොරියාව වරින් වර කෙටිදුර මිසයිල අත්හදා බැලීම් සිදුකරන අතර, පසුගිය සතියේදී ඔවුන් සිය නැඟෙනහිර මුහුදු කලාපය වෙතද මිසයිල අත්හදා බැලීම් කිහිපයක්ම සිදු කළේය.
මේ වනවිට සිදුවන ඇමෙරිකා හා දකුණු කොරියා ඒකාබද්ධ යුද අභ්‍යාසවලට එකට එක කිරීමක් ලෙස උතුරු කොරියාවද මෙසේ තම නවතම කෙටි දුර මිසයිල කිහිපයක් මුහුදට එල්ල කරමින් ඔවුන්ගේද යුද ශක්තිය පෙන්වීමට උත්සාහ කළ බව විදෙස් මාධ්‍ය පවසයි.