පැසිෆික් සාගරයේ පිහිටි ඇමෙරිකාවට අයත් ගුවාම් දූපත වෙත මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ උතුරු කොරියානු තීරණය සම්බන්ධයෙන් ජනපති කිම් ජොන්ග්-උන් කෙටි පැහැදිලි කිරීමක් සිදුකර ඇති බව එරට රජයේ මාධ්‍ය පවසයි.
කෙසේ වෙතත්, ගුවාම් දූපත වෙත මිසයිල ප්‍රහාර දියත් කිරීමට පෙර ඇමෙරිකාවේ ක්‍රියාකලාපය පිළිබඳ අවධානයෙන් පසුවන බවද හෙතෙම පවසා තිබේ.
පසුගිය සතියේදී උතුරු කොරියාව කියා සිටියේ ඇමෙරිකානු බෝම්බ හෙළන ප්‍රහාරක යානා රඳවා ඇති ගුවාම් දූපත ආසන්න සාගරයට සිය අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල 4ක් එල්ල කරන බවයි.
උතුරු කොරියානු මිසයිල අත්හදා බැලීම් හමුවේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී උතුරු කොරියාවට එරෙහිව දැඩි සම්බාධක පැමිණවීමත් සමග ඇමෙරිකාව සමග වූ උතුරු කොරියාවේ විරසකය උග්‍ර විය.
එරට රජයේ මාධ්‍ය පෙන්වාදෙන පරිදි මෙම ප්‍රහාරය පිළිබඳව සිය නායකයා වසර ගණනාවක සිට සැලසුම් කරමින් සිටි බවයි. එමෙන්ම, සිය ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශකයන් සමග මේ සම්බන්ධයෙන් නොයෙක් වර සාකච්ඡා කර ඇති බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මේ තත්ත්වය තුළ උතුරු කොරියානු මූලෝපාය හමුදාවන්ගේ අණදෙන නිලධාරියා සිය නායකයාගේ අනුමැතිය ලැබෙන තුරු මෙම ප්‍රහාරයට සූදානමින් සිටින බව සඳහන් වෙයි.
මෙහිදී, උතුරු කොරියානු නායකයා වැඩිදුරටත් පවසා ඇත්තේ,
"ඇමෙරිකාව, ඔවුන් තමයි මුලින්ම අපේ කලාපය ආසන්නයටම න්‍යෂ්ටික අවි ආයුද සහිත ආම්පන්න රැගෙන ආවේ. ඒ නිසා කොරියානු අර්ධද්වීපයේ යුද උණුසුමක් ඇති නොවීමට ඔවුන් මුලින්ම සිය නිවැරදි ක්‍රියා පිළිවෙත පෙන්විය යුතුයි."
මෑතකදී ඇමෙරිකාවට අයත් න්‍යෂ්ටික ප්‍රහාරක යුද නෞකාවක් කොරියානු කලාපය ආසන්නයටම පැමිණි අතර, ඔවුන් දකුණු කොරියාව සමග එක්ව සිදුකරන යුද අභ්‍යාසයන්ද උතුරු කොරියාවේ සීමාව පැනීමට හේතු වී ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.