උතුරු කොරියාවේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ මූලෝපාය ඉවසීම අවසානයට පැමිණ ඇති බවත්, පූර්ව දැනුම්දීමකින් තොරව හමුදාමය ක්‍රියාදාමයකට තමන් සූදානම් බවත් ඇමෙරිකාව අවධාරණය කරයි.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා රෙක්ස් ට්රිලර්සන් පවසා සිටියේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි වැඩපිළිවෙල සීමාව ඉක්ම ගියහොත් ඊට එරෙහි තීරණය මේ වනවිටත් මේසයට පැමිණ ඇති බවයි.
දකුණු කොරියාවේ සංචාරයක නිරත වෙමින් රාජ්‍ය ලේකම්වරයා මෙම කරුණු අවධාරණය කළ අතර, මෙම සංචාරයේදී දෙරට අතර නව රාජතාන්ත්‍රික හා ආර්ථික සබඳතා තරකර ගැනීම මෙහිදී සලකා බැලුණු බවද සඳහන් වෙයි.
මෑතකදී දකුණු කොරියාවේ ස්ථාපිත කරනලද නවතම මිසයිල පද්ධතිය සම්බන්ධයෙන්ද රාජ්‍ය ලේකම්වරයා මෙහිදී අදහස් දක්වමින් එහි වැදගත්කම පැවසීය.
මේ සම්බන්ධයෙන් චීනය යම් විරෝධාකල්පයක සිටියත්, එය උතුරු කොරියාවෙන් එල්ලවිය හැකි තර්ජනයක් සඳහා අත්‍යවශ්‍ය පියවරක් බව ඇමෙරිකාව මෙන්ම දකුණු කොරියාවද අවධාරණය කළේය.
මේ අතර, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ, 'උතුරු කොරියාව ඉතාම නරක අයුරින් හැසිරෙනවා. ඔවුන් ඇමෙරිකාව සමග වසර ගණනාවක් පුරා සෙල්ලමක යෙදෙනවා. නමුත්, මීට එරෙහිව චීනයේ ප්‍රතිචාරය ඉතා සීමිතයි.' යනුවෙනි.