බටහිර ඉරාකයේ අන්බාර් ප්‍රාන්තයේ තවත් නගරයක් සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් අතට පත්ව ඇති බවත්, එය දින දෙකක් තුළ ඔවුන් විසින් අත්පත් කරගත් සිව්වැනි නගරය බවත් විදෙස් පුවත් සේවා පවසයි.
ISIS ත්රස්තයන් මෙසේ සිය ග්‍රහණයට ගෙන ඇති නගරය නැගෙනහිර ජෝර්දාන් දේශසීමාවට සැතපුම් 90ක් පමණ ආසන්නයේ වූ රුට්බා නගරය බව කියයි.
මීට පෙර සිරියාව හා ඉරාකය සම්බන්ධ කෙරෙන දේශසීමා මාර්ගයක් අත්පත් කරගත් සුන්නි ත්රස්තයන් විසින් බැග්ඩෑඩයට එන ගමනේ බටහිර ඉරාකයේ තවත් නගර දෙකක්ද අත්පත් කරගන්නා ලදී.
ඒ අනුව, බහුතර සුන්නි ජාතිකයන් පිරිසක් සිටින අන්බාර් ප්‍රාන්තයේ සම්පූර්ණ බලය සියතට ගැනීමට ඔවුන් සූදානමින් සිටියි.
මේ අතර, ඉරාකයේ පැන නැගී ඇති තත්ත්වයට ඇමෙරිකාවේ අතපෙවීම සම්බන්ධයෙන් තමන් දැඩි විරුද්ධත්වයක් දක්වන බව ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි ඛමේනි පවසා ඇති බවද වාර්තා වෙයි.