ඉරාකයේ දෙවැනි විශාලතම නගරය මෙන්ම තවත් නගර කිහිපයක්ම ISIS ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමීන් විසින් අත්පත් කරගැනීමත් සමග රට යළි ස්ථාවර කිරීම සඳහා ඇමෙරිකානු ආරක්ෂක අංශ සටන්කාමීන් ඉලක්ක කර නියමුවන් රහිත ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් පවතින බව ධවල මන්දිර ආරංචි මාර්ග උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය පෙන්වා දෙයි.
බී.බී.සී.ය වාර්තා කරන පරිදි ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමාද කියා සිටියේ ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමීන්ට එරෙහිව සටන් වැදීම සඳහා ඉරාක රජයට සහාය විය හැකි සෑම ආකාරයක්ම සලකා බලමින් සිටින බවය.
නමුත්, ඉරාකය වෙත නැවත ගොඩබිම් හමුදාවක් යැවීමේ සූදානමක් නොමැති බවද ධවල මන්දිරය උපුටා දක්වමින් බී.බී.සී.ය පවසයි.
මේ තත්ත්වය තුළ සටන්කාමීන් පාලනය කිරීම සඳහා බොහෝ දුරට ඇමෙරිකාව ගුවන් ප්‍රහාරයක්, විශේෂයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමේ වැඩි ඉඩකඩක් පවතින බව විශ්වාස කළ හැකිය.
මේ වනවිට මොසුල් සහ ටික්රිට් නගර සටන්කාමීන් අතට පත්ව ඇති අතර, සමාර ප්‍රදේශයට පැමිණි කැරලිකරුවන් ඉරාක ගුවන් හමුදා ප්‍රහාර හමුවේ පළා ගොස් ඇති බව කියැවෙයි.
මේ අතර, තෙල් සම්පතින් ආඪ්‍ය කිර්කුක් නගරය අත්හැර ඉරාක හමුදා ඉවත් වීම හේතුවෙන් කුර්දි කැරලිකරුවන් එම ප්‍රදේශය අත්පත් කරගෙන ඇති බවද විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.
ISIS යනු, ලෙවාන්ට් නමින් ඔවුන් විසින් හඳුන්වන රටවල් එකතුවක් හා ඉරාකය ඇතුළත්ව ඉස්ලාම් ආගමික රාජ්‍යයක් පිහිටුවීමට සටන් වදින සංවිධානයකි. ලෙවාන්ට් යනුවෙන් ඔවුන් හඳුන්වන කොටසට සිරියාව, ලෙබනනය, පලස්තීනය, ඊශ්‍රායලය සහ ජෝර්දානය යන රටවල් ඇතුළත් වෙයි. එමෙන්ම, ඔවුන් අල්කයිඩා සංවිධානයෙන් පෝෂණය ලබා ගොඩනැගුණක බවද කියැවෙයි.