ඉන්දියාවේ මීළඟ අගමැතිවරයා වීමේ සටනේ ආසන්නයටම පැමිණ ඇති බවට අනාවැකි පළ කෙරෙන නරේන්ද්‍ර මෝඩි අද (30දා) සිය ගම් පළාත වූ ගුජරාට් ප්‍රාන්තයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම් වන්නේ අද ඇරඹෙන ඉන්දීය මහ මැතිවරණයේ හත්වැනි අදියරේදීය.
අහමේදාබාද් දිස්ත්‍රික්කයේ පිහිටි පාසලකදී ඔහු ඡන්දය ප්‍රකාශ කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අද පැවැත්වෙන මැතිවරණය වෙනුවෙන් ගුජරාට් ප්‍රාන්තයේ ආසන 26ම තම මල්ලට පුරවා ගැනීම මෝඩිගේ බලාපොරොත්තුව බවද කියැවෙයි.
මේ අතර, ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවන් නගරබදව සිටින ජනයා ගම් පළාත්වලට යෑම හේතුවෙන් එරට බස් හා දුම්රිය ජනයාගෙන් පිරී පවතින බවද වාර්තා වෙයි.
එමෙන්ම, බෙදී වෙන්වීමට සැරසෙන අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයත් අවසන් වරට එක් ප්‍රාන්තයක් ලෙස මෙවර මැතිවරණය පැවැත්වෙයි.
සමස්තයක් ලෙස අද පැවැත්වෙන ඡන්ද විමසීම වෙනුවෙන් ප්‍රාන්ත හා එක්සත් පළාත් 9ක, මිලියන 139ක ඡන්දදායකයන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.
ඔවුන් ආසන 89ක් වෙනුවෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් 1,300ක් වෙත සිය ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් සිටින බවද වාර්තා වෙයි.
ලෝකයේ දැවැන්තම ප්රජාතන්ත්රවාදී මහ මැතිවරණයක් ලෙස පැවැත්වෙන මෙවර ඉන්දීය මහ මැතිවරණය වෙනුවෙන් මිලියන 814ක ඡන්දදායකයන් පිරිසක් ඡන්දය පාවිච්චි කිරීමට සුදුසුකම් ලබා සිටියි.
අදියර 9ක් යටතේ පැවැත්වෙන මැතිවරණය මැයි 12 වැනිදා අවසන් වන අතර, ඡන්ද ගණන් කිරීම මැයි 16 වැනිදා ඇරඹෙන බව එරටින් වාර්තා වෙයි.