නැගෙනහිර ඉන්දීය ප්රාන්තයක් වූ ජාර්කාන්ද් හිදී කාන්තාවකට පහරදීමේ සිද්ධියකට පළිගැනීමක් ලෙස නව යොවුන් වියේ දැරියක් සමූහ දූෂණයකට ලක්වීමේ සිද්ධියක් ඉන්දියාවෙන් වාර්තා වෙයි.
කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිටත් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි ගමේ ප්රධානියාද සිටී. ඔහු මෙම අපරාධයට අනුමැතිය ලබාදී ඇති බව කියැවෙයි. එමෙන්ම, පහර කෑමට ලක්වූ කාන්තාවගේ සැමියාද ඒ අතර වෙයි.
පොලිසිය පවසන අන්දමට දූෂණය සිදු වී ඇත්තේ මේ සතියේ ආරම්භයේය. මෙසේ දූෂණයට ලක්වූ දැරිය දාහතරවැනි වියේ පසු වන බවත් පොලීසිය පවසයි.
මෙම දැරියගේ සහෝදරයා විසින් ගමේ කාන්තාවකට පහරදී ඇති බවත් එයට පළි ගැනීමක් ලෙස දැරිය දූෂණය කර ඇති බවත් පොලිසිය පවසයි.
මේ වනවිටත් එම දැරිය රෝහල්ගත කර ඇති අතර, ඇයගෙන් පොලීසිය ප්රකාශයක්ද ලබාගෙන තිබේ.
මෙය ඉන්දියාවෙන් වාර්තා වන පළමු සිදුවීම නොවන බව මේ වනවිට නොරහසකි. ඉන්දියාව පුරා කාන්තා හිංසනයට එරෙහිව මේ වනවිට දැඩි හඬක් නැගුණද, තවමත් ඉන්දියාව කාන්තාවන්ට අනාරක්ෂිත ස්ථානයක් බවට පත්වෙමින් තිබේ.