(UPDATE) ඉතියෝපියාවේ අගනගරය වන අඩ්ඩීස් අබාබා හි කුණු කන්දක් නාය යෑමෙන් සිදුවූ මහා ඛේදවාචකය හේතුවෙන් ජීවිත 50 ඉක්මවා අහිමිව ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, කුණු කන්දට යටවූ හා මියගිය පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව ඉතියෝපියානු බලධාරීහු පවසති.
සෙනසුරාදා රාත්රියේදී සිදුවූ කුණු කන්ද නායයාමෙන් සිදුවූ ජීවිත හානි ප්රමාණය තවදුරටත් ඉහළ යා හැකි බවත්, මෙම අවස්ථාවේදී 150ක පමණ පිරිසක් මේ ආශ්රිතව සිටි බවත් එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.
මෙම කුණු කන්ද නායයාමෙන් පහළට කඩා වැටුණු ටොන් ගණනක් කුණුවලට අවට නිවාස රැසක් යට වී ඇති බවද ඉතියෝපියානු බලධාරීහු පවසති.
දශක පහකට අධික කාලයක් පුරා මෙම ප්රදේශය අඩ්ඩීස් අබාබා අගනගරයේ කුණු දැමීම සඳහා යොදාගත් කුණු කන්දක් බවට පත්ව තිබූ අතර, මෙම කුණු කන්ද සම්බන්ධයෙන් ඒ වනවිටත් පාරිසරික ගැටලු රැසක් මේ ප්රදේශ ආශ්රිතව ඇති වී තිබුණි.
සහන සේවකයන් හා ප්රදේශවාසීන් බුල්ඩෝසර් මෙන්ම, තම දෑත්ද යොදාගෙන පහළට රූටා වැටුණු කුණු කන්ද අවුස්සමින් ජීවත්ව සිටින කිසිවෙකු හෝ සොයාගැනීමේ මහත් පරිශ්රමයක යෙදෙන බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
එරට නගර බලධාරීන් පවසන්නේ අතුරුදන් වූ බොහෝ දෙනෙකු තවමත් ගණනය කර නොමැති නිසා ඔවුන් මෙම කුණු කන්දට යට වී සිටිය හැකි බවයි.