ඉක්වදෝරය වෙත බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පිරිස 500 දක්වා ඉහළ ගොස් ඇති බවත්, ඊට ගොදුරු වී සුන්බුන්වලට යටවී සිටින පිරිස් සෙවීමේ බලාපොරොත්තු මේ වනවිට අත්හැර ඇති බවත් බලධාරීහු පවසති.
දකුණු ඇමෙරිකානු ඔපෙක් රාජ්‍යයක් වන ඉක්වදෝර ආර්ථිකය පසුබැස පැවති අවස්ථාවක එරට මුහුණදුන් මෙම අභාග්‍යසම්පන්න සිදුවීම ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීමක් බඳු සිදුවීමක් බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
බලධාරීන් උත්සාහය අත්හැරියත් ඉක්වදෝරයේ පැසිෆික් වෙරළාශ්‍රිතව හටගත් භූ කම්පනයෙන් ප්‍රබල හානිවලට පත්වූ නිවාස හා හෝටල් ආශ්‍රිතව ජීවත් වන ජනතාව සිය ඥාතීන් හා හිතවතුන් සෙවීමේ කටයුතු තවමත් අත්හැර නොමැති බව විදෙස් වාර්තා පවසයි.
ඔවුන් කුමන හෝ වාසනාවකින් සිය ඥාති හිතමිත්‍රාදීන් සුන්බුන් අතරින් මතුවනු ඇතැයි සිතමින්, සුනඛයන් මෙන්ම එක්ස්කැවේටර් යන්ත්‍ර යොදා ගනිමින් කඩා වැටුණු සුන්බුන් පීරමින් සිටින බව කියැවෙයි.
පසුගිය සෙනසුරාදා රික්ටර් පරිමාණා 7.8ක අගයක් ගනිමින් ඇති වූ ඉක්වදෝර භූ කම්පනය හේතුවත් තවදුරටත් අතුරුදන් වූ පිරිස 107 ඉක්මවන බව කියයි. එමෙන්ම, මේ අවාසනාවන්ත සිදුවීමෙන් තුවාල ලැබූ පිරිස මේ වනවිට 4,000 ක් ලෙස ගණන් බලා තිබේ.
මෙම භූ කම්පනය හේතුවෙන් ඇ.ඩො.බිලියන 2 - 3 ත් අතර අලාභානි සිදුව ඇති බවත්, එය ඉක්වදෝර ආර්ථිකය සියයට 2 - 3 කින් පහළ බැසීමට හේතු විය හැකි බවත් ඉක්වදෝර ජනාධිපති රෆායල් කොරෙයා පවසයි.