ඇමෙරිකානු හමුදා සෙබලුන් තමන් සමග සේවයේ යෙදෙන හමුදා සෙබළියන්ගේ නිරුවත් ඡායාරූප හුවාමරු කිරීම සම්බන්ධ හෙළිදරව්ව දැඩි ආන්දෝලනයකට ලක්ව තිබේ.
විශේෂයෙන්ම දැනට සේවයේ යෙදෙන මැරීන් සෙබළියන්ගේ සමාජජාල තුළ මෙම ඡායාරූප විශාල ලෙස හුවමාරු වී ඇති අතර, අනෙකුත් හමුදාවලට අයත් සාමාජිකයන්ද මෙම ඡායාරූප විශාල වශයෙන් හුවමාරු කරගනිමින් සිටින බව පැවසෙයි.
මෙය කිසිසේත්ම හමුදා විනයට හා හමුදාවේ ගරුත්වයට නුසුදුසු බව පවසන පෙන්ටගනය මේ සම්බන්ධයෙන් ඇමෙරිකානු නාවික හමුදාව විසින් විශේෂ පරීක්ෂණයක් අරඹා ඇති බවද පවසා සිටියි.
විශේෂයෙන්ම නිර්නාමික ඡායාරූප පළ කිරීම සඳහා පහසුකම් සලසන වෙබ් අඩවියක් භාවිත කරමින් ඇමෙරිකානු හමුදා භටයන් විසින් තමන් සමග සේවයේ නිරත හමුදා සෙබළියන්ගේ නිරුවත් ඡායාරූප හුවමාරු කර ඇති බවද මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
මෙම හමුදා සෙබලුන් ෆේස්බුක් ගිණුම් ඔස්සේ හමුදා සෙබළියන්ගේ ඡායාරූප ඩවුන්ලෝඩ් කර පසුව ඔවුන්ගේ නිරුවත් ඡායාරූප ඇත්දැයි සෙසු හමුදා සාමාජිකයන්ගෙන් විමසීම් කර තිබේ. පසුව, ඊට ප්රතිචාර වශයෙන් එම හමුදා සාමාජිකයන් විසින් අදාළ සෙබළියන්ගේ නිරුවත් ඡායාරූප සොයාගෙන ඒවා පළ කිරීම තුළ මෙය වසංගතයක් ලෙස පැතිරී ඇති බව විදෙස් වාර්තා පවසයි.